මමෝවාගෙන් සුබ පැතුම්



කඩොලාන පරිසර පද්ධති ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන්, එක්සත් ජාතීන්ගේ සංවිධානය, ඔවුන්ගේ ‘වර්ල්ඩ් රෙස්ටෝරේෂන් ෆ්ලෑග්ෂිප්’ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව ඇගයීමට ලක් කිරීම, හොලිවුඩයේ ජනප්‍රිය නළු ජේසන් මමෝවාගේ සතුටට හේතුවක් වී ඇත.

අන්තර් ජාලයට වීඩියෝ පටයක් නිකුත් කරමින්, මමෝවා පවසා ඇත්තේ, කඩොලාන පරිසර පද්ධති ආරක්ෂා කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර ලොවටම ආදර්ශයක් බවය.

45 හැවිරිදි මමෝවා, ලොව පුරා ලොකු කුඩා කා අතරේත් ජනප්‍රිය වී සිටින්නේ, ‘ඇක්වා මෑන්’ නමැති සුපිරි වීරයාගේ චරිතයට පණ පොවමිනි. ජේසන් මමෝවා, මෙරට තරුණ තරුණියන්ගේ, විශේෂයෙන් තරුණියන්ගේ ආදරණීය රංගන ශිල්පියෙකි.

රංගන ශිල්පියකු ලෙස ලැබූ ජනප්‍රියත්වයත් සමඟ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, පරිසර වැඩසටහන් හා සම්බන්ධ විශේෂ නියෝජිතයකු ලෙස ද මමෝවා කටයුතු කරයි. ඒ, සාගර සුරැකීම සහ සාගර පරිසර පද්ධති ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ලෝවැසියන් දැනුවත් කරමිණි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය, ඔවුන්ගේ ‘වර්ල්ඩ් රෙස්ටෝරේෂන් ෆ්ලෑග්ෂිප්’ වැඩසටහන යටතේ, ආර්ථික සංවර්ධනයක් පෙන්නුම් කරමින්, සාගර පරිසර පද්ධති ආරක්ෂා කරන රටවල් ඇගයීමට ලක් කර, සම්මාන ප්‍රදානය කරයි. ශ්‍රී ලංකාව ද මෙවර සම්මානයට පාත්‍ර වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.


RECOMMEND POSTS