බෲනායි කුමරු දින 10 ක් මගුල් කයි



බෲනායි රාජ්‍යයේ අබ්දුල් මාටීන් කුමරුන්ගේ රාජකීය විවාහ මංගල උත්සවය දින 10 ක් තිස්සේ පැවැත්වෙයි. රාජකීය මංගල උත්සවය ආරම්භ වූයේ පසුගිය 7 වැනිදාය.

32 හැවිරිදි අබ්දුල් මාටීන් කුමරු ඉස්ටග්‍රෑම් සහ ටික්ටොක් සමාජ මාධ්‍ය ඔස්සේ ජනප්‍රිය චරිතයකි. අබ්දුල් මාටීන් කුමරු ජනප්‍රිය වී සිටින්නේ ඔහුගේ කඩවසම් පෙනුම නිසාත්, දේහධාරී හමුදා නිලධාරියකු වීම නිසාත්ය. ආසියානු තරුණියන්ගේ ‘වඩාත් ආකර්ශණය දිනූ තනිකඩයා’ ලෙස ද අබ්දුල් මාටීන් කුමරු කලක් ප්‍රසිද්ධියට පත්ව සිටියේය.

කුමරුන්ගේ අත ගත්තේ, වසර ගණනක් ඔහුගේ ආදරවන්තිය වූ 29 හැවිරිදි යැංග් මුලියා අනීෂා රෝෂ්නාය. ඇය සාමාන්‍ය පවුලක යුවතියකි. දෙදෙනාගේ විවාහ ගිවිස ගැනීම පසුගිය දෙසැම්බරය් සිදුවිය. යැංග් මුලියා අනීෂා රෝෂ්නා විලාසිතා සහ සංචාරක සමාගමක හිමිකාරිණියකි.

විවාහ මංගල උත්සවය පැවැත්වෙන්නේ ඉස්තානා නුරුල් ඉමාම් රජ මාලිගයේය. විශේෂ ආරාධිත අමුත්තෝ 5,000 ක් මංගල උත්සවයට සහභාගී වෙති. සෞදියේත්, ජෝර්දානයේත් රජ පවුල්වල සාමාජිකයෝ ද ඒ අතර වෙති.
අසල්වැසි ඉන්දුනීසියාවේ ජනාධිපති යෝනෝ විඩෝඩෝ සහ පිලිපීන නායක ෆර්ඩිනැන්ඞ් මාකෝස් ජූනියර් (කනිෂ්ඨ) ද විශේෂ ආරාධිත අමුත්තන් අතර සිටිති.

බෲනායි යනු අග්නිදිග ආසියාවට අයත් කුඩා මුස්ලිම් රාජ්‍යයකි. එරට සියයට 80 ක් සුන්නි මුස්ලිම්ය. බෝනියෝ දූපතේ උතුරු කෙළවරේ පිහිටා ඇත. බෝනියෝ දූපතේ එකම ස්වෛරී රාජ්‍යය වන්නේ ද බෲනායි ය. දූපතේ සෙසු පළාත් ඉන්දුනීසියාවටත්, මැලේසියාවටත් අයත් වෙයි.

2020 වසරේ දී බෲනායි ජනගහනය 4,60,345 කි. බෲනායි රාජ්‍යයේ පවතින්නේ රාජාණ්ඩුවකි. රටේ ෂරියා නීතිය ක්‍රියාත්මක වෙයි. රටේ පාලකයා බෲනායි සුල්තාන්වරයාය. වත්මන් සුල්තාන්වරයා මෙන්ම අග්‍රාමාත්‍යවරයා ද වන්නේ හසන්නාල් බොල්කියාය. අබ්දුල් මාටීන්, බෲනායි සුල්තාන් හසන්නාල් බොල්කියාගේ දසවැනි දරුවා වන අතර, සුල්තාන්වරයාගේ දෙවැනි බිරිඳගේ සිවුවැනි පුත්‍රයාය.


RECOMMEND POSTS