බ්‍රිතාන්‍ය මාස්ටර් චෙෆ් බ්‍රින් පිරතාපන්



බ්‍රිතාන්‍ය රූපවාහිනියේ විශාලතම ඉවුම් පිහුම් තරඟාවලිය ලෙස සැලකෙන මාස්ටර් චෙෆ් තරඟාවලියේ 2024 වසරේ ශුරතාව ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පශු වෛද්‍යවරයකු වන බ්‍රින් පිරතාපන් සමත් විය.

මාස්ටර් චෙෆ් තරඟාවලියේ විනිශ්චයකරුවන් වූ ජෝන් ටොරොඩේ සහ ග්‍රෙග් වොලස් විසින් බ්‍රින් පිරතාපන්ට මාස්ටර්චෙෆ් කුසලානය පිරිනැමුවේය.තරඟාවලිය ජයග්‍රහණය කිරීමත් සමඟ 29 හැවිරිදි බ්‍රින් පිරතාපන් මාස්ටර් චෙෆ් තරඟාවලියේ 20 වැනි ජයග්‍රාහකයා ලෙස ඉතිහාස පොත් අතරට එකතු වූවේය.

මෙවර මාස්ටර් චෙෆ් තරඟාවලිය සති 8 ක් පුරා පැවැති අතර තරඟකරුවන් 57 දෙනෙකු ඉවුම් පිහුම් ක්ෂේත්‍රයේ කීර්තිමත්ම කිරුළවන මාස්ටර් චෙෆ් කිරුළ සඳහා තරඟ වැදුණේය.මාස්ටර් චෙෆ් අවසන් තරඟය පසුගියදා පැවැති අතර එහිදී බ්‍රින් පිරතාපන් සමඟ ලුවිස් ලියොන් සහ ක්‍රිස් විලොග්බි තරඟ වැදුණහ.වසර 20ක බ්‍රිතාන්‍ය මාස්ටර් චෙෆ් ඉතිහාසයේ මෙතෙක් පැවැති හොඳම අවසන් තරඟය මෙම වසරේ ප්‍රේක්ෂකයන්ට දැක ගැනීමට හැකිවූ බව එහි විනිශ්චයකරුවකු වූ ජෝන් ටොරොඩේ ශූරතාවය පිරතාපන් වෙත පිරිනමමින් පැවැසුවේය.

තමගේ ඉවුම් පිහුම් ශෛල්‍ය සිය දෙමාපියන්ගෙන් ලැබී ඇති ශ්‍රී ලාංකික උරුමයෙන් අභාෂය ලබා ඇති බවත් තමන් ශ්‍රී ලාංකික දෙමළ සම්භවයකින් පැමිණීම හේතුවෙන් සැමවිටම ප්‍රණීත ආහාර භුක්ති විඳීමට හැකි වූ බවත් පිරතාපන් ප්‍රකාශ කළේය.තමන් පශු වෛද්‍යවරයකු ලෙස සේවය කළත් ඉදිරියේදී ඉවුම් පිහුම් ක්ෂේත්‍රයට අවතීර්ණවීමට අදහසක් තිබෙන බව ඔහු වැඩි දුරටත් අදහස් දක්වමින් පැවැසුවේය.


RECOMMEND POSTS