බ්‍රිතාන්‍ය අගමැති ජොන්සන්ට මංගල සීනු



බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සහ ඔහුගේ පෙම්වතිය කැරී සිමොන්ඩ්ස්ගේ මංගල උත්සවය සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව චාම් අයුරින් පැවැත්විණි.

බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කළේ මංගල උත්සවය රහසේ පැවැත්වුණු බවය. නිශ්චිත දිනයක් හෙළි නොකළත්, තමන් පෙම්වතිය කැරී සමඟ විවාහ වන බව අග්‍රාමාත්‍ය ජොන්සන් මීට පෙර අවස්ථා ගණනාවකදී මාධ්‍ය හමුවේ පවසා තිබුණි. මංගල උත්සවය සැලැසුම් කෙරුණේ මාස 6 කට පෙරය.

56 හැවිරිදි ජොන්සන් සහ 33 හැවිරිදි සිමොන්ඩ්ස්ගේ විවාහ මංගල උත්සවය, පෙරේදා (29) වෙස්ට්මින්ස්ටර් දෙව්මැදුරේ පැවැත්වුණු බව බීබීසී වාර්තාවක දැක්වෙයි.

මංගල උත්සවයට සහභාගී වූයේ පවුලේ සහ සමීපතම මිතුරන් කීපදෙනකු පමණි. ඒ, එරට සෞඛ්‍ය නීතිරීතිවලට අනුවය. බ්‍රිතාන්‍ය සෞඛ්‍ය බලධාරීන් පනවා ඇති සීමා අනුව, මංගල උත්සවයකට සහභාගී විය හැක්කේ 30 කට අඩු පිරිසක් පමණි.

පෙම්වතිය වීමට පෙර කැරී සිමොන්ඩ්ස්, ජොන්සන්ගේ මාධ්‍ය ලේකම්වරිය වූවාය. දෙදෙනා පෙම්වතුන් වූයේ 2019 දීය. එදා සිට දෙදෙනා එකට ජීවත් වන අතර, කැරී සිමොන්ඩ්ස් මවු පදවියට පත් වූයේ පසුගිය වසරේ අප්‍රේල් මාසයේය.

ඒ වනවිට ගැබිනියක වී සිටි ඇයත්, අග්‍රාමාත්‍යවරයාත් කොරෝනා ආසාදිතයන් බවට පත් ව සිටියහ. කැරී සිමොන්ඩ්ස් කිසිදු ගැටලුවකින් තොරව ඉක්මණින් සුවය ලැබූ අතර, අග්‍රාමාත්‍ය ජොන්සන් සුවය ලැබුවේ දින කීපයක් රෝහල්ගතව සිටීමෙන් පසුවය.

අග්‍රාමාත්‍ය ජොන්සන් අලුත උපන් පුතුට නම් තැබුවේ, රෝහලේ දී ඔහුට ප්‍රතිකාර කළ හෙදියන් දෙදෙනාගේ නම් එක් කර විල්ෆර්ඩ් ලොව්රී නිකොලස් ජොන්සන් යනුවෙනි.

ලන්ඩනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS