පුටින්ගේ රහසක් හෙළිවෙයි
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට පුතුන් දෙදෙනකු සිටින බවත් ඔවුන් මහජනතාවගෙන් දුරස්ව සිටිමින් රහසිගත සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන බවත් "ද නිව්ස් වීක්" සඟරාව ප්රකාශ කළේය.
වැඩිමහල් පුත්රයා වන නව හැවිරිදි ඉවාන් සහ බාල පුත්රයා වන පස් හැවිරිදි ව්ලැදිමීර් (කනිෂ්ඨ) මොස්කව්හි වයඹ දෙසින් පිහිටි පුටින් මාළිගයක ජීවත්වන බවත් ඔවුන් පාසල් නොයන බවත් "ද නිව්ස් වීක්" සඟරාව පැවැසුවේය. ඉවාන් සහ ව්ලැදිමීර්ගේ මව හිටපු ඔලිම්පික් ජිම්නාස්ටික් ක්රීඩිකා 41 හැවිරිදි ඇලීනා කෙබාව බවත් පුටින් සහ ඇලීනා අතර පෙම් පළහිලව්ව 2008 වසරේදී ආරම්භවී ඇති බවත් "ද නිව්ස් වීක්" සඟරාව ප්රකාශ කළේය.
ඉවාන් සහ ව්ලැදිමීර් මාපියන් හමුවන්නේ කලාතුරකින් බවත් ඔවුන්ගේ ඕනෑඑපාකම් පුටින් හිමිකාරිත්වය දරන සමාගම් මගින් සපුරාලන බවත් එම සඟරාව පැවැසුවේය. ඉවාන් සහ ව්ලැදිමීර් ඔවුන්ගේ වයස්වල සිටින ළමුන් සමඟ සම්බන්ධ නොවන බවත් ඔවුන් ගමන් කරන්නේ සන්නද්ධ ආරක්ෂකයන් පිරිවරාගත් දුම්රිය සහ පුද්ගලික ගුවන් යානාවල බවත් "ද නිව්ස් වීක්" සඟරාව ප්රකාශ කළේය.
පුටින්ගේ අනුප්රාප්තිකයන් වීමට ඉවාන් සහ ව්ලැදිමීර් පුහුණු කිරීමට පුටින් කටයුතු කරන බවත් ඔවුන් ඉංග්රීසි භාෂාව සහ ජර්මන් භාෂාව ඉගෙන ගන්නා බවත් එම සඟරාව පැවැසුවේය. ඔවුන් පුද්ගලික පුහුණුකරුවන්ගෙන් ජිම්නාස්ටික් ක්රීඩාව සහ සංගීතය ඉගෙන ගන්නා බවත් "ද නිව්ස් වීක්" සඟරාව සඳහන් කළේය. කෙසේවෙතත් ඇලීනා කෙබාව සමඟ කිසිඳු සම්බන්ධයක් නොමැති බවට පුටින් ප්රකාශ කරන බවද එම සඟරාව පැවැසුවේය.
ක්රෙම්ලිනය හා සම්බන්ධ පුද්ගලයන්ගේ අපරාධමය ක්රියාකාරම් සොයා බලන ඩොසියෙර් සෙන්ටර් කළ මාර්ගගත විමර්ශනයක වාර්තාවක් උපුටා දක්වමින් "ද නිව්ස් වීක්" සඟරාව මෙම ලිපිය පළකර ඇත.