පියාගේ වියෝව නොදැන ලැබූ ජය



ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පැවති කාන්තා ලෝක කුසලාන අවසන් මහා තරඟයේදී, ස්පාඤ්ඤ කණ්ඩායම, එංගලන්ත කණ්ඩායම පරාජය කරමින් ලෝක කුසලානය දිනා ගැනීමට සමත් විය.

එම තරඟයේදී එංගලන්ත පාපන්දු කණ්ඩායමට ගෝලයක් වාර්තා කිරීමට අවස්ථාවක් ස්පාඤ්ඤ පාපන්දු කණ්ඩායම ලබා නොදුන් අතර,  ස්පාඤ්ඤ පාපන්දු කණ්ඩායම වෙනුවෙන් වාර්තා කළ එකම මෙන්ම ජයග්‍රාහී ගෝලය වාර්තා කිරීමට එම කණ්ඩායමේ ක්‍රීඩිකා 23 හැවිරිදි ඔල්ගා කාර්මෝනා සමත් විය. ඔල්ගා, ස්පාඤ්ඤ පාපන්දු කණ්ඩායමේ නායිකාව ද වෙයි.

ඔල්ගා කාර්මෝනා ස්පාඤ්ඤ කාන්තා පාපන්දු කණ්ඩායමට ලෝක කුසලානය ජයග්‍රහණය කර දීමට මුල් වුව ද ලෝක කුසලාන ජයග්‍රහණය කර විනාඩි කිහිපයක් යන්නට මත්තෙන් ලැබුණු ශෝක ජනක පුවතක් හේතුවෙන් ඇයට ලෝක කුසලාන ජය සැමරීමට ​ නොහැකි විය.

ඒ, ලෝක කුසලානය ජයග්‍රහණය කර, මිනිත්තු කීපයක් ඇතුළත ඔල්ගා කාර්මෝනාගේ පියා මියගිය පුවත ස්පාඤ්ඤ පාපන්දු සංගමය ඇයට දැනුම් දුන් නිසාය.

දිගු කාලීන රෝගී තත්ත්වයක් සමඟ සටන් වදිමින් සිටි ඔල්ගා කාර්මෝනාගේ පියා පසුගිය 18 වැනිදා මිය ගියත් ඇගේ පවුලේ අය, ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය නිමවන තෙක් ඇයට මෙම අසුබ පුවත දැනුම් දුන්නේ නැත.

ඇය ඒ බව දැන ගත්තේ අවසන් තරඟය ජයග්‍රාහීව අවසන් කිරීමෙන් පසුවය.

තමාගේ පියාගේ මරණය සැලවීමෙන් දුක් වුණු ඔල්ගා කාර්මෝනා ඉතාමත් හැඟීම්බර ප්‍රකාශයක් කරමින් පියාට ගෞරව කළාය.

‘ඔබේ මරණය ගැන නොදැනුවත්ව මගේ නිල ඇඳුමේ තරු පැළඳ ගනිමින් අවසාන තරඟයට ක්‍රීඩා කළා.ඉතාම සුළු පිරිසක් පසු කරන අද්වීතිය කඩ ඉමක් පසු කිරීමට ඔබ මට ශක්තිය ලබා දුන්නා මම දන්නවා ඉන්න තැනක සිට ඔබ මගේ අවසාන තරඟය නැරඹුවා කියලා. සමාදානයේ සැතපෙන්න තාත්තේ.’ යනු එයයි.    


RECOMMEND POSTS