පාකිස්තාන අගමැති දුෂණ චෝදනාවලින්



දූෂණ සහ මුදල් විශුද්ධිකරණ චෝදනාවලින් අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් සහ ඔහුගේ පුතුන් දෙදෙනා වන හම්සා සහ සුලෙමාන් නිදොස් කොට නිදහස් කිරීමට පාකිස්තාන අධිකරණයක් තීන්දු කළේය.

ඇමෙරිකන් ඩොලර් මිලියන ගණනක් මුදල් විශුද්ධිකරණය කළේ යැයි අග්‍රාමාත්‍යවරයා සහ පුතුන් දෙදෙනාට චෝදනා ගොනු කරනු ලැබ තිබුණේ, පාකිස්තාන ෆෙඩරල් විමර්ශන ඒජන්සියය විසිනි. ඒ, 2020 වසරේදීය. එවකට පැවැතියේ ඉම්රාන් ඛාන් පරිපාලනයයි. අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්ගේ දෙවැනි පුතු  සුලෙමාන් මහා බ්‍රිතාන්‍යයේ ජීවත් වෙයි.

පාකිස්තාන ෆෙඩරල් විමර්ශන ඒජන්සිය, 2020 නොවැම්බරයේ ෂෙහ්බාස් ෂරීෆ් සහ පුතුන්ට චෝදනා ගොනු කළේ ඔවුන්ගේ බැංකු ගිනුම් 28 ක් හරහා රුපියල් බිලියන 16.3 ක් (ඇමෙරිකන් ඩොලර් මිලියන 200 ක් පමණ) විශුද්ධිකරණය කළ බව පෙන්වා දෙමිනි. 2008 සිට 2018 තෙක් මෙම ගිණුම් පවත්වාගෙන ගොස් ඇතැයි ද පාකිස්තාන ෆෙඩරල් විමර්ශන ඒජන්සිය අවධාරණය කර තිබුණි.

දූෂණ චෝදනා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා එල්ල වෙද්දී, ෂෙහ්බාස් ෂරීෆ් පාකිස්තාන විපක්ෂ නායක ධුරය හෙබවීය. හම්සා ෂරීෆ් පාකිස්තානයේ පන්ජාබ් පළාතේ හිටපු මහ ඇමැතිවරයාය. ෂෙහ්බාස් ෂරීෆ් ට අග්‍රාමාත්‍ය ධුරය හිමිවූයේ, පසුගිය අප්‍රේල් මාසයේ දී විපක්ෂ සන්ධානය ගෙනා විශ්වාසභංගයෙන් ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍ය ධුරයෙන් නෙරපා දැමීමෙන් අනතුරුවය.

එල්ල වී තිබූ සියලු චෝදනාවලින් ග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් සහ ඔහුගේ පුත්‍රයා හම්සා නිදොස් කොට නිදහස් කරනු ලැබුවේ ලාහෝර් නුවර විශේෂ අධිකරණයක් මගිනි. අග්‍රාමාත්‍යවරයා හෝ පුත්‍රයා හෝ එම අවස්ථාවේ අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත.

පසුගිය 8 වැනිදා නඩුව කැඳවූ අවස්ථාවේදී 70 හැවිරිදි අග්‍රාමාත්‍යවරයා සහ 47 හැවිරිදි හම්සා ලාහෝර් අධිකරණය හමුවේ පෙනී සිටියහ. එම අවස්ථාවේදී ද එල්ල වන සියලු චෝදනා ප්‍රතික්ෂේප කිරීමට අග්‍රාමාත්‍යවරයාත්, පුත්‍රයාත් කටයුතු කළහ. තමන් එක් පාකිස්තාන රුපියලක් වංචා කර නැතැයි ෂෙහ්බාස් ෂරීෆ් අධිකරණය හමුවේ අවධාරණය කළේය. ලාහෝර් අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේ පවා අග්‍රාමාත්‍යවරයාටත් පුතුන් දෙදෙනාටත් පෙර ඇප හිමි වී තිබුණි.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS