ප්‍රංශ ජනපති බිරිඳ පිරිමියෙක්ද?



ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් විවාහ වී සිටින්නේ ඔහුට වඩා වසර 24 ක් වැඩිමහල් කාන්තාවක වන බ්‍රිජෙත් ත්‍රොග්නෝව් සමඟය. ඇය ප්‍රංශ ජනාධිපතිවරයාගේ පාසල් කාලේ ගුරුවරියකි. මැක්රොන්ට සාහිත්‍යය ඉගැන්වූයේ ඇයයි. දෙදෙනාගේ විවාහය සිදුවූයේ 2007 වසරේදීය. ඒ වනවිට ඇය දික්කසාද වූ තිදරු මවක වූවාය. 72 හැවිරිදි දැන් ඇය මුහුණුපුරු මිණිපිරියන් කීප දෙනකුගේ මිත්තණියකි. මැක්රොන් සහ බ්‍රිජෙත් යුවළට දරුවන් නැත.

1953 අප්‍රේල් 13 වෙනිදා ප්‍රංශයේ ඇමියෙන්ස් නගරයේ උපත ලැබූ බ්‍රිජෙත් ත්‍රොග්නෝව් ගැන අද මුළු ලෝකයේම අවධානය යොමු වී ඇත. ඒ, ඇය ප්‍රංශ ජනාධිපති ආර්යාව ලෙස සැමියාගේ දේශපාලන කටයුතුවලදී ඔහුට සහාය දීම, අධ්‍යාපනය, ආබාධිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් සහ ළමා ආරක්ෂාව වැනි ප්‍රංශ වැසියන්ගේ විවිධ සමාජ ගැටලු වෙනුවෙන් පෙනී සිටීම නිසාම නොවෙයි; ඇය උපතින් පිරිමියකු බවටත්, පසුව ලිංග පෙරැළියකට ලක්වුණු තැනැත්තියක යන ප්‍රකාශය නිසාය.

මෙය එසේ මෙසේ ප්‍රකාශයක් ද නොවෙයි. 2017 වසරේ දී, ප්‍රංශ ජාතික නිදහස් මාධ්‍යවේදිනියක බව කියන නටාෂා රේ (නතාලි රේ) යූ ටියුබ් වීඩියෝවක් හරහා කියා සිටියේ, ප්‍රංශ ජනපති බිරිඳ බ්‍රිජෙත්, උපත ලැබුවේ පිරිමියකු ලෙස බවත්, ඇය ජෝන්-මයිකල් ත්‍රොග්නෝව් බවත්ය. පසුව ඇය ගැහැනියක වූයේ ලිංග පෙරළියකින් යැයි ද නැටාෂා රේ ඇගේ යූ ටියුබ් වීඩියෝවෙන් පැහැදිලි කළාය.

ප්‍රංශ ජනාධිපතිවරණය 2022 වසරේ දී පැවැත්විණි. 2021 දී මැක්රොන් ජනාධිපතිවරණයට සූදානම් වෙමින් සිටියදී, බිරිඳ බ්‍රිජෙත් කාන්තාවක නොව පිරිමියකු යන කාරණාව යළි ඉස්මතු වීමට පටන් ගත්තේය. 2021 දී නටාෂා රේ, තවත් මාධ්‍යවේදියකු වන ඇමෙන්ඩීන් රෝයි සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් කියා සිටියේ, බ්‍රිජෙත් පිරිමියකු බවය. මෙම සම්මුඛ සාකච්ඡාව සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනකුගේ අවධානය දිනා ගත්තේය. සමාජ මාධ්‍ය ඔස්සේ මෙම සම්මුඛ සාකච්ඡාව ‘වයිරල්’ විය. නටාෂා රේ, බ්‍රිජෙත් පිරිමියකු බව පෙන්වා දුන්නේ සාක්ෂි ද සමඟය. ඇය බ්‍රිජෙත්ගේ ළමා කාලයේ ඡායාරූප පෙන්වූ අතර, එහි සිටින්නේ පිරිමි දරුවෙකි.

2022 ප්‍රංශ ජනාධිපතිවරණයෙන් මැක්රොන් ජයග්‍රහණය කළේය. ජනාධිපතිවරණය පැවැත්වූයේ 2022 අප්‍රේල් 10 වැනිදාය. අපේක්ෂකයෝ කීප දෙනෙක් ඊට සහභාගී වූහ. පළමු වටයේ දී, කිසිදු අපේක්ෂකයකුට සියයට 50 කට වඩා ඡන්ද දිනා ගැනීමට නොහැකි වූ බැවින්, දෙවැනි වටයකට යෑමට ද සිදුවිය. දෙවැනි වටය පැවැත්වූයේ මැක්රොන් සහ ලා පෙන් අතරේය. ඒ, 2022 අප්‍රේල් 24 වැනිදාය. දෙවැනි වටයේ දී මැක්රොන් සියයට 58 ක ඡන්ද ප්‍රතිශතයක් හිමි කර ගනිමින් ජයග්‍රහණය කළේය. ඒත් ඔහුගේ ජනප්‍රියත්වය ගිලිහෙමින් තිබුණි. අද ප්‍රංශ පාර්ලිමේන්තුවේ බහුතරය ඇත්තේ මැක්රොන්ගේ මධ්‍යස්ථ දක්ෂිණාංශික සහ මධ්‍ය වාමාංශික මතධාරීන් සතුව නොව, අන්ත දක්ෂිණාංශික පක්ෂ සතුවය. පනත් සම්මත කර ගැනීමේ දී මෙය ගැටලුවකි. මේ නිසා පසුගිය මාස කීපය ඇතුළත ප්‍රංශ අග්‍රාමාත්‍ය ධුරය අවස්ථා කීපයකදී  ම වෙනස් විය. ප්‍රංශ අග්‍රාමාත්‍යවරයා පත් කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසිනි.

ප්‍රංශ ජනාධිපති ආර්යා බ්‍රිජෙත් ත්‍රොග්නෝව් කාන්තාවක නොව පිරිමියකු යන ප්‍රකාශය සම්බන්ධයෙන් මැක්රොන් යුවළ නටාෂා රේට නඩු පැවරූහ. නටාෂා රේ අපහාස කිරීමක් නොකළ බවට ප්‍රංශ අධිකරණය, පසුගිය අප්‍රේල් මාසයේ දී තීන්දුවක් දුන්නේය.

දැන් යළිත් වරක්, බ්‍රිජෙත් ත්‍රොග්නෝව් උපතින් කාන්තාවක නොව පිරිමියකු යන කාරණාව කරළියට පැමිණ ඇත. ඒ, ඇමෙරිකාවෙනි. මේ බව පවසා ඇත්තේ ඇමෙරිකන් දේශපාලන විචාරිකාවක වන කළු ජාතික කැන්ඩිස් ඕවන්ස් ය. මැය පවසන්නේ ද බ්‍රිජෙත් ත්‍රොග්නෝව්, උපත ලැබුවේ ජෝන්-මයිකල් ත්‍රොග්නෝව් යන නමින් බවය. එහෙත්, ජෝන්-මයිකල් ත්‍රොග්නෝව් යනුවෙන්, බ්‍රිජෙත්ගේ පවුලේ සාමාජිකයෙක් සිටී. ඒ, ඇගේ වැඩිමල් සොහොයුරාය.

එසේ වුවත්, කැන්ඩිස් ඕවන්ස් දිගින් දිගටම සමාජ මාධ්‍ය ඔස්සේ පවසන්නට වූයේ බ්‍රිජෙත් ත්‍රොග්නෝව් උපතින් පිරිමියකු බවය. තම තමන්ගේ වෘත්තීය ජීවිතයේ කීර්තිය පරදුවට තබා මෙසේ පවසන බව ද කැන්ඩිස් ඕවන්ස් පැහැදිලි කර ඇත. ඕවන්ස් ද සමාජ මාධ්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය තැනැත්තියකි. ඇගේ යූ ටියුබ් නාළිකාව හා සම්බන්ධ වී සිටින පිරිස මිලියන 4 කට වැඩිය.

ප්‍රංශ ජනපති යුවළගේ නීතීඥ කණ්ඩායමේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ ටොම් ක්ලෙයාර්ය. ඔහු පවසන්නේ, ඇමෙරිකානු අන්ත දක්ෂිණාංශික අදහස් ඇති දේශපාලන විචාරිකාවක වන කැන්ඩිස් ඕවන්ස්ට එරෙහිව අපහාස නඩුවක් ගොනු කිරීමට මැක්රෝන යුවළ පියවර ගෙන ඇති බවය. බ්‍රිජෙත් කාන්තාවක බව තහවුරු කිරීමට ඡායාරූප මෙන්ම විද්‍යාත්මක සාක්ෂි ද ඇමෙරිකන් අධිකරණයට ඉදිරිපත් කරන බව ද ටොම් ක්ලෙයාර් පෙන්වා දී ඇත.

“මේක එසේ මෙසේ අපහාස කිරීමක් නොවෙයි. ලෝක නායකයකු ගේ බිරිඳකට කළ දරුණු අපහාසයක්. බ්‍රිජෙත් ආර්යාවට එරෙහිව අන්ත දක්ෂිණාංශික දේශපාලන කණ්ඩායම් එක් වී ගෙන යන කුමන්ත්‍රණයක්. කැන්ඩිස් ඕවන්ස් ඒ අයගේ න්‍යාය පත්‍රයකට වැඩ කරනවා. තමන් ගැහැනියක ද පිරිමියක ද ඔප්පු කිරීමට බ්‍රිජෙත් මහත්මියට සිදුවීම ගැන ඇත්තටම කනගාටුවක්. ඒත් එල්ල වූ අපහාසය වෙනුවෙන් ඇය යමක් කළ යුතුයි.” යැයි ටොම් ක්ලෙයාර්, බීබීසී පුවත් සේවයට පැහැදිලි කර ඇත.

බීබීසී ඇසුරිනි


RECOMMEND POSTS