පළමු AI ඇමතිනිය



ලොව පළමු කෘත්‍රිම බුද්ධි (AI) අමාත්‍යවරිය ලොවට හඳුන්වා දීමට ඇල්බේනියාව සමත්විය. ඒ කියන්නේ මැය, කෘත්‍රිම බුද්ධිය සම්බන්ධයෙන් ක්‍රියාත්මක විද්‍යා හා තාක්ෂණ අමත්‍යාංශයක අමාත්‍යවරියක්ද? නැත. මැය මීට පෙර තොරතුරු ජාලයක, සේවා සපයන්නියක ලෙස රැකියාව කළ තැනැත්තියකි. ඇය අත්දැකීම් ඇති කෙනෙක්? නැත. මැය කරළියට පැමිණියේ 2025 ජනවාරියේය. ඇය ඇල්බේනියා කැබිනට් මණ්ඩලයට තෝරා ගැනීම සිදුවූයේ පසුගිය සතියේය. මැය සැබෑ තැනැත්තියක නොවෙයි. කෘත්‍රීම බුද්ධියෙන් පණ ගැන්වෙන ඩිජිටල් තැනැත්තියකි. ඩිජිටල් ගැහැනු රූපයකි.

ඇල්බේනියාව නිල වශයෙන් හැදින්වෙන්නේ ඇල්බේනියා ජනරජය යනුවෙනි. ඇල්බේනියාව යනු දකුණු-නැගෙනහිර යුරෝපයේ බෝල්කන් අර්ධද්වීපයේ පිහිටි රාජ්‍යයකි. ඇල්බේනියාවේ බහුතරයක් මුස්ලිම් ජනතාව ජීවත් වෙයි. මෑතකදී කරන ලද සංගණනවලට අනුව, එරට ජනගහනයෙන් සියයට 58 ක් පමණ මුස්ලිම්ය. ඇඩ්‍රියාටික් මුහුද පිහිටන්නේ ඇල්බේනියාව බටහිරිනි. උතුරින් ඇත්තේ මොන්ටිනිග්‍රෝ රාජ්‍යයි. ඊසාන දෙසින් ඇත්තේ කොසෝවෝ රාජ්‍යයයි. නැගෙනහිරින් ඇත්තේ

උතුරු මැසඩෝනියාවය‍. ගිණිකොණ දෙසින් ඇත්තේ ග්‍රීසියයි. ඇල්බේනියාවේ සැලකිය යුතු කතෝලික සහ ඕතඩොක්ස් ක්‍රිස්තියානි ජනගහනයක්ද සිටිති.

ඇල්බේනියාව දුෂණ වංචා ඇති රටකි. රටේ දූෂණය පිටුදැකීමේ පියවරක් ලෙස, තීන්දු තීරණ ගැනීමට, ටෙන්ඩර් ක්‍රියාවලි කිසිදු ගැටලුවකින් හෝ මැදිහත්වීමකින් සිදු කිරීමට ඇල්බේනියා අග්‍රාමාත්‍යවරයාගේ විසඳුම මෙම කෘත්‍රිම බුද්ධි අමාත්‍යවරියයි.

මැය නම් කර ඇත්තේ ඩියෙල්ලා යනුවෙනි. ඩියෙල්ලා යනු ඇල්බේනියානු බසින් හිරු යන්නය.

ඩියෙල්ලා කෘත්‍රිම බුද්ධි පද්ධතියයි. මැයගේ රූපය සාමාන්‍ය ඇල්බේනියානු කාන්තාවකට සමාන වන අතර, ඇල්බේනියානු කාන්තාවන්ගේ ජාතික ඇඳුමින් මැය හැඩ වී සිටී. වීඩියෝ තිර හරහා ඩියෙල්ලා ජීවමාන වෙයි. ඇයට තනිවම තීන්දුතීරණ ගැනීමේ හැකියාව පමණක් නොව, ඩිජිටල් තිරය හරහා ඇයගෙන් ප්‍රශ්න කිරීම් පවා කළ හැකිය. එපමණක් නොවෙයි, ඇය පැය 24 පුරා නොනිදා වැඩ කරයි. රටේ අල්ලස් සහ දුෂණය මැඩලීම සහ මුදල් වියදම් කිරීමේදී විනිවිදභාවය වැඩි කිරීම සොයා බලයි.

රජයේ කොන්ත්‍රාත්තු සහ මහජන ටෙන්ඩර්වලදී සිදුවන දුෂණය සියයට 100 ක් අවම කිරීමේ අරමුණින් ඩියෙල්ලා කෘත්‍රිම බුද්ධි පද්ධතිය නිර්මාණය කර තිබීම ද විශේෂත්වයකි.

ඇල්බේනියාවේ අග්‍රාමාත්‍ය ලෙස කටයුතු කරන්නේ එඩී රාමාය. රාමා නියෝජනය කරන්නේ සමාජවාදී පක්ෂයයි. මෙම පක්ෂය 2025 වසරේ ජනවාරියේ පැවැති මැතිවරණයෙන් අති විශිෂ්ඨ ජයක් ලැබීය. මැතිවරණයට සමගාමීව, සමාජවාදී පක්ෂය ඊ ඇල්බානියා (e-Albania) නමින් ඩිජිටල් සේවයක් ආරම්භ කළේය. ඒ ජනතාවට රජයේ කටයුතු වඩාත් පහසුවෙන් සහ ඉක්මනින් කැ දීමටය.

මෙම ඊ ඇල්බානියා සේවයේ සේවා සැපැයුම් කටයුතු කරනු ඩියෙල්ලා විසිනි. එබැවින් ඊ ඇල්බානියා හරහා රාජ්‍ය සේවා ලබා ගැනීමේ දී, අවහ්‍ය සහාය ලබා ගැනීම ඩියෙල්ලා විසින් සිදු කරනු ලැබීය. ඩියෙල්ලා ජනතාව අතරේ ජනප්‍රිය චරිතයක් විය. ඇල්බේනියානුවන්ට අවශ්‍ය රජයේ සේවා සම්බන්ධයෙන් ඕනෑම දෙයක් ඩියෙල්ලා සමඟ කතාබහ කර දැනගත හැකි විය.

ඩියෙල්ලා ජනප්‍රිය වෙද්දී, ඇයට අමාත්‍ය ධුරයක් පිරිනැමීමට අග්‍රාමාත්‍ය එඩී රාමා තීරණය කළේය. ඩියෙල්ලා නිර්මාණය කතළ කණ්ඩායම පසුපස සිටින්නේ ද එඩී රාමාය. අවසානයේ ඩියෙල්ලා ඇල්බේනියා ආමාත්‍යවරියන විය. දැන් ඇය ලොව පළමු වැනි කෘත්‍රිම බුද්ධි අමාත්‍යවරියයි.

ඇල්බේනියාව යුරෝපා සංගමයට එක්වීමට උත්සාහ ගනිමින් සිටී. එබැවින් රටේ දුෂණය පිටුදැකීමට අග්‍රාමාත්‍ය රාමාගේ රජය දැඩි වෙහෙසක් ගනිමින් සිටී. මෙම කෘත්‍රිම බුද්ධි අමාත්‍යවරිය, රජය ගන්නා ඉලක්කය සපුරා ගැනීමට හේතුවක් වනු ඇතැයි විශ්වාස කෙරේ.

කෘත්‍රිම බුද්ධිය සහ කෘත්‍රිම බුද්ධියෙන් නිර්මාණය වී තනිවම සිතන තනිවම තීන්දු තීරණ ගන්නා ඩියෙල්ලා වැනි චරිත පවා අද අපට අරුමයක් නොවෙයි. අපේ එදිනෙදා වැඩ කරගෙන යෑමේ දී පවා අප කෘත්‍රිම බුද්ධි මෘදුකාංගවල සහාය ලබා ගනී. වීඩියෝ නිර්මාණයේ දී, වීඩියෝ සඳහා චරිත නිර්මාණයේ දී කෘත්‍රිම බුද්ධිය යොදා ගැනීම කළ හැකිය. කෘත්‍රිම බුද්ධිය ලොව පුරා වේගයෙන් දියුණු වෙමින් පවතී. කෘත්‍රිම බුද්ධි තාක්ෂණය ඇමෙරිකාවෙන් ආරම්භ වුවත්, අද කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් ඉදිරියෙන් පසුවන්නේ චීනයයි. ඇමෙරිකාව මෙන් නොව, චීනය කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සලකන්නේ මිනිසාගේ මිතුරකු ලෙසය.

පසුගිය දා බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවා පද්ධතියට සුපිරි පරිගණකයක් සම්බන්ධ කෙරුණි. මේ පරිගණක පද්ධතිය කෘත්‍රිම බුද්ධියක් හා සම්බන්ධය. රෝගීන්ගේ සියලු විස්තර මෙම පරිගණකට ඇතුළක් අතර වෛද්‍ය වාර්තා පරීක්ෂා කර, පොරොත්තු ලේඛනවල සිටිය යුතු රෝගීන් සහ නොසිටිය යුතු රෝගීන් සොයා දීම සිදුකරන්නේ මෙම කෘත්‍රිම බුද්ධි පරිගණකයයි. වෛද්‍ය පර්යේෂකයන් ට ඇතැම් රෝග සඳහා ප්‍රතිකාර සෙවීමට වසර ගණනක් ගත වුවත් කෘත්‍රිම බුද්ධිය ආධාරයෙන් දිනක් ඇතුළත ලෙඩ රෝග සඳහා පිළියම් සොයා ගැනෙයි.

කෘත්‍රිම බුද්ධිය භාවිතයට ගනිමින් මිනිස් රූපවලට සමාන රූප ඩිජිටල් වේදිකා තුළ නිර්මාණය වීම අලුත් දෙයක් නොවෙයි. ඇල්බේනියානු අමාත්‍යවරිය කෘත්‍රිම බුද්ධි නිර්මාණයක් පමණය. කෘත්‍රිම බුද්ධියෙන් නිර්මාණය කළ නිවේදකයන් සහ නිවේදිකාවන් රූපවාහිනියෙන් ප්‍රවෘත්ති ඉදිරිපත් කරන ඇයුරු ද අපට දකින්න ලැබේ. මුලින්ම මෙම තාක්ෂණය අත්හදා බැලුවේ චීනයයි. ඉන්පසු ඉන්දියාවෙන්, සෞදි අරාබියෙන්, පාකිස්තානයෙන් අපට ප්‍රවෘත්ති නිවේදිකාවන් දකින්න ලැබුණි. අප රටේ ද කෘත්‍රිම බුද්ධියෙන් නිර්මාණය කළ නිවේදිකාවන් ප්‍රවෘත්ති ඉදිරිපත් කර ඇත. මෙම කෘත්‍රිම බුද්ධි නිවේදක නිවේදිකාවන්ට භාෂා ගැටලු මතුවන්නේ ද නැත. මොවුන්ට පහසුවෙන් ගෝලීය ප්‍රේක්ෂකයන් වෙත ළඟා වීමට හැකිය.

 

කෘත්‍රිම බුද්ධියෙන් ක්‍රියාත්මක චැට්බෝට්ස් වැනි යෙදවුම් භාවිතයට ගනිමින්, වෛද්‍ය ප්‍රතිකාර සහ මානසික සෞඛ්‍යයට අදාළ මූලික උපදේශන ලබා දීම පවා සිදුවෙයි. ඔබ කැමති ආකාරයේ රූපයක් ඇති වෛද්‍යවරයකු හෝ වෛද්‍යවරියක ඔබේ පරිගණක තිරයට හෝ ස්මාට් ෆෝන් තිරයට ගෙන්වාගෙන අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට පුළුවනි. ලොව පුරා වෛද්‍ය ප්‍රතිකාර සහ මානසික සෞඛ්‍යයට අදාළ ප්‍රතිකාර සේවාවලට සම්බන්ධ වෛද්‍යවරුන්ගේ දැනුම, අත්දැකීම් ආදී සියල්ල කෘත්‍රිම බුද්ධියට ඇතුළත් කර තිබේ. කෘත්‍රිම බුද්ධියෙන් නිර්මාණය කළ විවිධ චරිත ඇතුළත් කෙටි වීඩියෝ නිරන්තරයෙන් මුහුණු පොතෙක් දැකිය හැකිය. කෘත්‍රිම බුද්ධිය යොදා ගනිමින් කළ අසැබි විහිළු ඇතුළත් නිර්මාණ ද මුහුණු පොතෙන් බහුලව දැකිය හැකිය. ඔබට පෙම්වතකු හෝ පෙම්වතියක නැතිනම්, ඔබ කැමති රූපය ඇති, ඔබ කැමති විදියේ කටහඬක් ඇති, ඔබේ සිතුම් පැතුම්වලට ගැලපෙන කෘත්‍රිම බුද්ධි පෙම්වතකු හෝ පෙම්වතියක නිර්මාණය කර ගැනීමට පවා කෘත්‍රිම බුද්ධියෙන් පුළුවනි.

බීබීසී ඇසුරිනි


RECOMMEND POSTS