නිර්මාංශ රුසියන් තරුණිය දිවියට සමුදෙයි



නිර්මාංශ ආහාර රටාවකට යොමු වී, පලතුරු වර්ග පමණක් නොව, එළවලු වර්ග ද අමුවෙන් ආහාරයට ගනිමින්, ජලය පාලනය වෙනුවට පලතුරු යුෂ පමණක් පානය කළ 39 හැවිරිදි රුසියන් තරුණියක වන සහානා සම්සෝනෝවා දිවියෙන් සමුගත්තාය.

සම්සෝනෝවා, නිර්මාංශ ආහාර රටාවකට යොමු වී ජීවත් වීම සම්බන්ධයෙන් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ වසර ගණනක සිට වීඩියෝ පළ කළ තැනැත්තියකි. ඇය නිර්මාංශ ආහාර සම්බන්ධයෙන් ප්‍රවර්ධන කටයුතුවල නියැලුනු තැනැත්තියකි. ඇගේ එම වීඩියෝ අතිශය ජනප්‍රියය.

නිර්මාංශ ආහාර සකස් කර ගැනීම සම්බන්ධයෙන් කෑම වට්ටෝරු හඳුන්වා දීමට ද සම්සෝනෝවා කටයුතු කළාය. සම්සෝනෝවා සිය ඉන්ටග්‍රෑම් ගිණුම පවත්වාගෙන ගොස් ඇත්තේ ‘සහානා දි ආර්ට්’ යන නමිනි.

සම්සෝනෝවා, ජීවත් වී ඇත්තේ කොස්, දෙල්, දූරියන් මූලික වශයෙන් ආහාරයට ගනිමිනි. ඊට අමතරව තවත් අනෝදා, ස්ට්‍රෝබෙරි වැනි පලතුරු, ඇට වර්ග සහ එළවලු වර්ග ඇය ආහාරයට ගත් බව පැවැසෙයි.

පසුගිය දා සිය නවාතැන් කාමරයේ සිහිසුන්ව සිටි සම්සෝනෝවා කඩිනමින් රෝහල්ගත කළ නමුත් ඇය බේරා ගැනීමට වෛද්‍යවරුන්ට නොහැකි විය. සිරුරට නිසි පෝෂණය නොලැබී, නිරාහාරව සිටීමෙන් මරණය සිදුවුණු බව වෛද්‍යවරුන් පවසා තිබේ.

තම දියණිය වෙනුවෙන් කම්පා වෙමින්, සම්සෝනෝවාගේ මව මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ මියයෑමට දින කීපයකට පෙර සම්සෝනෝවා කොළරා වැනි රෝගී තත්ත්වයකින් පීඩා විඳි බවය.

ඇය වසර 6 කින් ජලය පානය කර නැති අතර, ජලය වෙනුවට ඇය පානය කර ඇත්තේ පලතුරු යුෂ පමණක් බව ද පැවැසෙයි.
සම්සෝනෝවා කොස්, දෙල්, දූරියන් ආහාරයට යොමු වී ඇත්තේ අග්නිදිග ආසියානු රටවල සංචාරය කිරීමෙන් පසුවය. සම්සෝනෝවා ශ්‍රී ලංකාවේ ද සංචාරය කර තිබේ.


RECOMMEND POSTS