නැතුවම බැරි සාරා

ලොව කාගේත් ආදරය දිනූ, සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර්ගේ සුරූපී දියණිය සාරා තෙන්ඩුල්කාර් කැපී පෙනෙන චරිතයකි. 27 හැවිරිදි ඇය, බොලිවුඩ් රංගන ශිල්පිනියක නොවුණත්, ඇය බොලිවුඩ් රංගන ශිල්පිණියන්ට වඩා ජනප්‍රියය. ජනප්‍රිය පියකුගේ දියණියක වුවත්, සාරා තෙන්ඩුල්කාර් තමන්ගේම අනන්‍යතාවක් ගොඩනගා ගනිමින් ඉදිරියට යන තරුණියක ලෙස සමාජයේ කැපී පෙනෙයි. විවිධ ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වෙමින්, සාරා සමාජ මාධ්‍ය ඔස්සේ සාරා පළ කරන වීඩියෝ කා අතරේත් ප්‍රසිද්ධය. ඇය හුදෙක්, ප්‍රසිද්ධ, ගෞරවාදරයට පත් වූ පියකුගේ ආදරණීය දියණියක ලෙස පමණක් නොව, අධ්‍යාපනය, සමාජ සේවය, සහ නවීන විලාසිතා යන විවිධ ක්ෂේත්‍ර ඔස්සේ තමාගේම මාවතක් නිර්මාණය කරගෙන සිටින්නීය. දැන්, ඔස්ට්‍රේලියාවේ සංචාරක කර්මාන්තයට ද ඇය නැතුවම බැරි චරිතයක් වී අවසන්ය.
සමාජ මාධ්‍ය ඔස්සේ සාරා තෙන්ඩුල්කාර් වටා සිටින රසික රසිකාවියක් ගණන මිලියන ගණනකි. ඔවුන් අතරේ සිටින වැඩි දෙනා තරුණ තරුණියන්ය. සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා සාරා විලාසිතා ගැන කතා කරයි. ලස්සනට මෙන්ම නිරෝගීව සිටින්නේ මෙන්න මේ විදියටයි කියමින් රූපලාවන්‍ය උපදෙස් ලබා දෙයි. ඇය සංචාරයට ප්‍රිය තැනැත්තියකි. සාරා ඇගේ පෞද්ගලික ජීවිතේ ගැන කතා කරයි. අභියෝග ජය ගනිමින් ජීවිතය දිනන හැටි කියයි. පවුලේ සාමාජිකයන් සමඟ ගත කරන අවස්ථා ගැන කියයි. ඊට අමතරව, රට රටවල සංචාරය කරමින්, සංචාරක ගමනාන්ත සම්බන්ධයෙන් ද ඇය ඉන්ස්ටග්‍රෑම් හරහා ප්‍රසිද්ධියට පත් කළ වීඩියෝ අතිශය ජනප්‍රියය. ඕස්ට්‍රේලියා සංචාරක අමත්‍යාංශයේ ඇසට ඇය හසුවූයේ ද ඒ නිසාමය. එපමණක් නොව, ඕස්ට්‍රේලියා ක්‍රිකට්ලෝලීන්ගේ රටකි. ක්‍රිකට්ලෝලීන්ට, සාරාගේ පියා සචින් තෙන්ඩුල්කාර් කවුරුන්දැයි කීමට අටුවා ටීකා අවශ්‍ය නොවෙයි.
සංචාරක කර්මාන්තය නංවාලීමට සමාජ මාධ්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය තරුණ තරුණියන් සොයද්දී, සාරා ගැන ද ඕස්ට්‍රේලියා රජයේ සහ සංචාරක අමත්‍යාංශයේ අවධානය යොමු විය. සංචාරක ප්‍රවර්ධන කටයුතු සඳහා සාරාට ඇරැයුම් කෙරුණි. ඒ අනුව, පසුගිය දා ඕස්ට්‍රේලියාවේ ‘කම් ඇන්ඩ් සේ ගුඩ් ඩේ’ සංචාරක ප්‍රවර්ධන ව්‍යාපාරයේ සන්නාම තානාපතිනිය ලෙස සාරා පත් වූවාය. මෙය ගෝලීය වශයෙන් ඇයට ඇති පිළිගැනීම විදහාපෑමක් බව අමුතුවෙන් කිවයුතු නැත. තමන්, සාරා තෙන්ඩුල්කාර් සන්නාම තානාපතිනිය ලෙස තෝරා ගත්තේ ඉන්දීය තරුණ ප්‍රජාව සහ සාරා අතරේ ඇති බලපෑම සහ ජනප්‍රියත්වය සැලකිල්ලට ගනිමින් යැයි ඕස්ට්‍රේලියානු රජය වැඩි දුරටත් පැහැදිලි කර ඇත. දැන් ජාත්‍යන්තර මට්ටමේ දීප්තිමත් චරිතයක් බවට පත්වීමට ඒ අනුව සාරා සමත් වී සිටී.
සාරා තෙන්ඩුල්කාර් යනු හුදෙක් ප්‍රසිද්ධ නාමයක් පිටුපස සැඟවී සිටින සුරූපිනියක නම් නොවේ. ඇය ඇගේ දැනුම, දක්ෂතා, සහ පෞද්ගලිකත්වය මුල් කරගෙන ඇයටම කියා මාවතක් නිර්මාණය කරගත් සහ කර ගනිමින් ඉදිරියට යන තරුණියකි. ඇගේ ජීවිතය, අධ්‍යාපනය, වෘත්තීය ගමන් මග, සහ සමාජ සේවය පිළිබඳ උනන්දුව නව පරපුරට විශාල ආදර්ශයක් සපයයි. අනාගතයේදී තවත් බොහෝ ජයග්‍රහණ කරා ඇය ගමන් කරනු ඇති බවට සැකයක් නැතැයි ඇය ගැන ආදරයෙන් කතා කරන බොහෝ දෙනාගේ අදහසය.
සාරා ජෛව වෛද්‍ය විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා සිටී. ඇය ලන්ඩනයේ යුනිවර්සිටි කොලේජ් විශ්ව විද්‍යාලයේ සායනික සහ මහජන සෞඛ්‍ය පෝෂණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් සම්පූර්ණ කර ඇත. සාරා, එක්සත් රාජධානියේ පෝෂණ සංගමයේ ලියාපදිංචි පෝෂණවේදිනියක ලෙස ද කටයුතු කර ඇත. ඒ, සිය දැනුම සහ වෘත්තීය කැපවීම පෙන්නුම් කරමිණි. සාරා, එක්සත් රාජධානියේ පෝෂණ සංගමයේ ලියාපදිංචි පෝෂණවේදිනියක ද වන අතර, ක්‍රියාකාරී පෝෂණ පුහුණුකාරිනියක වීමට උන්නදුවෙන් සිටී.
‘කම් ඇන්ඩ් සේ ගුඩ් ඩේ’ සංචාරක ප්‍රවර්ධන ව්‍යාපාරයේ ප්‍රධාන අරමුණ, ඕස්ට්‍රේලියාවට සංචාරය කිරීමට ජාත්‍යන්තර සංචාරකයන් දිරිගැන්වීමය. සුප්‍රසිද්ධ ආර්ථික සඟරාවක් වන ඉකොනොමික් ටයිමස් වාර්තාවකට අනුව, ‘කම් ඇන්ඩ් සේ ගුඩ් ඩේ’ සමඟ අත්වැල් බැඳගෙන සිටින තවත් ජනප්‍රිය පුද්ගලයෝ කීප දෙනෙක් ද සිටිති. එක්සත් රාජධානියේ විවිධාකාරයේ ආහාර වර්ග සම්බන්ධයෙන් ගුණ දොස් සහ අදහස් පළ කරන ලේඛිකාවක සහ රූපවාහිනී සූපවේදිනියක වන නයිජෙලා ලෝසන්, ඕස්ට්‍රේලියා වනජීවී සංරක්ෂකයකු ලෙස කටයුතු කරන ජනප්‍රිය රූපවාහිනී තරුවක් ද වන රොබට් අර්වින්, චීන නළු යොෂ් යූ සහ ජපන් විකට නළු අබරේරු-කුන් ඒ අතරේ සිටිති.
සාරා තෙන්ඩුල්කාර් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට සම්බන්ධ කර ගැනීම, ඕස්ට්‍රේලියාවට සංචාර සඳහා ඉන්දීය තරුණ ප්‍රජාව දිරි ගැන්වීමක් පමණක් නොව, ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර සබඳතා ශක්තිමත් කිරීමේ උපාය මාර්ගික පියවරක් ද වනු ඇත. සාරාගේ මැදිහත් වීමෙන් මේ වනවිට, ඕස්ට්‍රේලියාවේ සුන්දරත්වය විදහා දැක්වෙන රූපවාහිනී කතා මාලා සහ අන්තර් ජාලය ඔස්සේ පළ වන වීඩියෝ දැන්වීම් නිර්මාණය වෙමින් පවතින බව එන්.ඩී.ටීවී. පුවත් සේවය පවසයි.
ඕස්ට්‍රේලියාව පාදක කරගත් සුවිශේෂී වික්‍රමාන්විත අත්දැකීම්, ඕස්ට්‍රේලියාවේ සංස්කෘතිය සහ ස්වභාවික සුන්දරත්වය එයින් විදහා පෑමක් සිදුවෙයි. සාරා තෙන්ඩුල්කාර් විවිධ ඩිජිටල් මාධ්‍ය වේදිකාවලින් ඉන්දීය තරුණ තරුණියන් ඕස්ට්‍රේලියාව ගවේෂණය කිරීමට දිරිගන්වනු ඇතැයි තම විශ්වාසය යැයි ටුවරිසම් ඕස්ට්‍රේලියා කළමනාකාර අධ්යක්ෂ පිලිප් හැරිසන් පැහැදිලි කර ඇත. වසර දෙක බැගින් අදියර දෙකකින් ක්‍රියාවට නැංවෙන මෙම සංචාරක ප්‍රවර්ධන වැඩසටහන සඳහා ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජයේ මුළු ආයෝජනය ඇමෙරිකානු ඩොලර් මිලියන 255 ඉක්මවයි.
සාරා තෙන්ඩුල්කාර්ගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ මිලියන 7.4කට අධික අනුගාමිකයන් පිරිසක් සිටිති. ඇගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා පවුලේ අය සහ මිතුරන් සමඟ ගත කරන අවස්ථා, දේශීය හා විදේශීය සංචාර, සචින් තෙන්ඩුල්කාර් පදනම සමඟ කරන වැඩ කටයුතු, සහ විවිධ සන්නාම සමඟ ඇති කරගත් ගෙවන ලද සහයෝගීතා පිළිබඳ තොරතුරු දක්නට ලැබේ. සාරා උපන්නේ, 1997 ඔක්තෝබර් 12 වැනිදා මුම්බායි නුවරදීය. සාරාගේ මව තෙන්ඩුල්කාර්ගේ බිරිඳ අංජලී ය. සාරාගේ මිත්තණිය ඇනබෙල් මෙහෙතා, බ්‍රිතාන්‍ය සම්භවයක් ඇති තැනැත්තියකි. ඇනබෙල් මෙහෙතා, සාරාගේ සීයා වන ආනන්ද් මෙහෙතා සමඟ විවාහ වීමෙන් පසු ඉන්දියාවට පැමිණ තිබේ. සාරාට බාල සොහොයුරකු සිටී. ඔහු අර්ජුන් තෙන්ඩුල්කාර්ය. සාරා සුරතල් සතුන්ට ප්‍රිය කරන අතර, ඇයට බළල් සුරතලුන් තිදෙනකු, බලු සුරතලුන් දෙදෙනකු සහ සුරතල් මසුන් සිටින බව පැවැසෙයි. ක්‍රීඩාවට සහ ශරීර සුවතාවට ඇය ඉතා ප්‍රිය කරයි. ඇය වැඩි කාලයක් ගත කරන්නේ ශරීර සුවතා මධ්‍යස්ථානවලය. ආහාර පිසීමටත්, රූපලාවන්‍ය කටයුතුවලටත් සාරා උනන්දුවක් දක්වන්නීය. ඇය අත්කම් වැඩ සම්බන්ධයෙන් සුවිශේෂී දස්කම් පෙන්වයි. ඇය ප්‍රකට රූපලාවණ්‍ය සන්නාම කීපයක් සමඟ අත්වැල් බැඳගෙන සිටී. සාරා, ඉන්දීය කෑම වර්ගවලට පමණක් නොව, ජපන් සුෂීවලටත්, ඉතාලි කෑම වර්ගවලටත් විශේෂයෙන් කැමැත්තක් දක්වන තරුණියකි. සාරා ටෙන්ඩුල්කාර්ගේ ප්‍රියතම සංචාරක ගමනාන්තයන් වන්නේ බාලි සහ ඉතාලියයි. මෙසේ පවසන්නේ, ෆෙමිනා ඉන්දියා සඟරාවය.
එන්.ඩී.ටීවී ඇසුරිනි

