නළු අමිතාබ් ගොවීන්ගේ ණය ගෙවලා



ණය ගෙවා දැමීමට නොහැකිව අසරණ තත්ත්වයට පත්ව සිටි ඉන්දීය ගොවීන් 1,398 දෙනකට තමන් පිහිට වුණැයි බොලිවුඩයේ ප්‍රවීණ මෙන්ම සුපිරි නළුවකු ද වන අමිතාබ් භච්චන් පවසා ඇත.

76 හැවිරිදි අමිතාබ් භච්චන් මේ බව කියා සිටියේ සිය බ්ලොග් වෙබ් අඩවියේ සටහනක් තබමිනි. තමන් මැදිහත් වී, එම ගොවීන්ගේ ණය මුදල් පියවා දැමීමට කටයුතු කළ බවය. අමිතාබ් භච්චන් පිහිට වී ඇත්තේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ ගොවීන් පිරිසකටය. භච්චන් උපත ලබා ඇත්තේ ද උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේය.

අමිතාබ් භච්චන් විසින් එම ණය පියවා දැමීම සඳහා  ඉන්දීය රුපියල් මිලියන 40 ක් (ඇමෙරිකන් ඩොලර් 5,60,000) ක මුදලක් වැය කොට ඇති බව ද ඉන්දීය පුවත් සේවා වාර්තා කර තිබේ.

තමා උපන් ප්‍රාන්තයේ අසරණ ගොවීන් වෙනුවෙන් ඉදිරිපත් වී ඔවුන්ට පිහිට වන්න ලැබීම තමන්ට ලොකු සතුටක් යැයි අමිතාබ් භච්චන් වැඩිදුරටත් පවසා ඇත.

ඉන්දීයාවේ ගොවීන් ණය බරින් පීඩාවට පත් ව, ණය පියවා දැමීමට නොහැකිව දිවි නසා ගන්නා අවස්ථා එමටය. 1995 වසරේ සිට මේ දක්වා ගොවීන් ලක්ෂ තුනකට වැඩි පිරිසක් දිවි නසා ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS