දීපිකාගේ බැඩ්මින්ටන් පුහුණුව



දීපිකා පදුකෝන් දක්ෂ සම්මානනීය බොලිවුඩ් නිළියකි. රංගනයට පමණක් නොවෙයි, දීපිකා බැඩ්මින්ටන් ක්‍රීඩාවටත් හපනියකි. පසුගිය දා තමන් බැඩ්මින්ටන් පුහුණු වන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් සහ ඡායාරූප දීපිකා ඇගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ ප්‍රසිද්ධ කළාය.

එම දසුන් සහ ඡායාරූපවලට ලොකු ප්‍රසිද්ධියක් ලැබුණි. සමාජ මාධ්‍ය හරහා පමණක් නොව, ඉන්දීය මාධ්‍ය හරහා ද කසුකුසුවක් නිර්මාණය විය. කසුකුසුව නිර්මාණය වූයේ දීපිකාගේ බැඩ්මින්ටන් පුහුණුව සම්බන්ධයෙන් නොවෙයි, ඇය බැඩ්මින්ටන් පුහුණුව කළේ කා සමඟ ද යන්න සම්බන්ධයෙනි.

දීපිකා බැඩ්මින්ටන් පුහුණු වූයේ ඉන්දීය ඔලිම්පික් බැඩ්මින්ටන් ශූරිය පී.වී. සිංදු සමඟය.

'සිංදු ලෝක බැඩ්මින්ටන් ශූරතාවලියට සූදානම් වෙනවා. ඇය ඒ වෙනුවෙන් පුහුණු වෙනවා. ඇය පුහුණු වෙන්න මා තෝරා ගත්තා' යැයි දීපිකා ඉස්ටග්‍රෑම් හරහා පවසා තිබේ. දීපිකා බැඩ්මින්ටන් ක්‍රීඩාවට ආධුනිකයකු නොවෙයි. ඇගේ පියා ප්‍රකාශ් පදුකෝන් ඉන්දියාවට කීර්තියක් ගෙනා දක්ෂ බැඩ්මින්ටන් ශූරයෙකි.

දීපිකා ද ජාතික මට්ටමින් බැඩ්මින්ටන් ජයග්‍රහණය හිමි කරගෙන ඇත.

'දීපිකා හරිම දක්ෂයි. ඇය බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් ඉදිරියට ගියා නම් ලෝක ශූරියක් පවා වෙන්න තිබුණා' යැයි පී.වී. සිංදු දීපිකාගේ දක්ෂතා අගය කරමින් පවසා තිබේ.

දීපිකා, සැමියා රන්වීර් සිං සහ පී.වී. සිංදු අතරේ සමීප මිත්‍රත්වයක් පවතී. මීට පෙර තිදෙනා එකට මුම්බායි අවන්හලකට ගොස් සිටින අයුරු දැක්වෙන වීඩියෝ දසුන් සහ ඡායාරූප දීපිකාගේ ඉස්ටග්‍රෑම් ගිණුමේ පළ වී තිබුණි.

'ඉන්දියා ටුඩේ' ඇසුරිනි


RECOMMEND POSTS