දිනෙන් දින ජනප්‍රිය Kaavaalaa



තමන්නාගේ ආකර්ශණීය නර්තනයෙන් හැඩ වුණු කාවාලා Kaavaalaa ගීතය මේ වනවිට අතිශය ජනප්‍රියය. Kaavaalaa ගීතය දකින්න ලැබෙන්නේ දකුණු ඉන්දීය බ්ලොක්බස්ටර් සිනමාකරු ලෙස සැලකෙන නෙල්සන් දිලිප්කුමාර්ගේ 'ජේලර්' දෙමළ චිත්‍රපටයේය.

Kaavaalaa සිංදුව නිසා දැනටමත් ජනප්‍රිය 'ජේලර්' සුපර් හිට් චිත්‍රපටයක් වනු ඇත්තේ වෙන කවුරුත් නිසා නොව රැජිනිකාන්ත් එහ ප්‍රධාන චරිත නිරූපණය කරන බැවිනි. 'ජේලර්' චිත්‍රපටය තිරගත වන්නේ අගෝස්තු 10 වැනිදාය.

Kaavaalaa සිංදුවේ ජනප්‍රියත්වයත් සමඟ, එම ගීතය ඇසුරින් ටික්ටොක් නිර්මාණ රැසක් ද බිහි වී අවසන්ය. එය ඇත්තෙන්ම අමුතු විදියේ උම්මාදයක් වී ඇති බව සිනමා විචාරකයෝ පෙන්වා දෙති.  චිත්‍රපටයක් තිරගතවීමට පෙර, රසික හදවත් දිනා ගන්නා අවස්ථා විරල යැයි ද විචාරකයෝ වැඩි දුරටත් පැහැදිලි කරති.

දකුණු ඉන්දියානු ජනප්‍රිය සංගීත අධ්‍යක්ෂවරයකු වන අනිරුධ් චිත්‍රපටයේ ගීත සියල්ලම සංගීතවත් කර තිබීම විශේෂත්වයකි.

අනිරුධ්, ෂාරුක් ඛාන් ප්‍රධාන චරිත නිරූපණය කරන 'ජවාන්' සිනමාපටය හරහා බොලිවුඩ් සිනමා සංගීත අධ්‍යක්ෂනයට පැමිණෙන අතරම, තිරගත වීමට නියමිත සුපිරි සිනමාපට ත්‍රිත්වයකම සංගීත අධ්‍යක්ෂනය ඔහු විසින් සිදු කර තිබීමත් විශේෂත්වයකි.

නෙල්සන්ගේ 'ජේලර්' ඇට්ලීගේ 'ජවාන්' සහ ලෝකේෂ් කනගරාජ්ගේ 'ලියෝ' යනු එම සිනමා ත්‍රිත්වයයයි. 'ලියෝ' යනු තලපති විජේ ප්‍රධාන චරිත නිරූපණය කරන චිත්‍රපටයයි.


RECOMMEND POSTS