තලපති වේදිකාවේ



දකුණු ඉන්දීය සුපිරි තරුව තලපති විජේ, තමිල්නාඩුවේ විල්ලුපුරම් දිස්ත්‍රික්කයේ වික්‍රවන්දි නගරේ දැවැන්ත වේදිකාවට පය තැබුවේ ලක්ෂ තුනකට වැඩි රසික රසිකාවියන්ගෙන් ඔල්වරසන් සහ ප්‍රීති ඝෝෂා මධ්‍යයේය. බොහෝ දෙනා පැමිණ සිටියේ තමන්ගේ සිනමා වීරයා; තමන්ගේ තලපති දැක ගැනීමේ ආසාවෙනි. බාල මහලු කවුරුත් ඒ මහා ජන පොදියේ පොරකන්නට විය. දරුවන් ඇකයේ රඳවා ගත් කාන්තාවෝ පවා පිරිස අතරේ වූහ. එකම හිස් ගොඩක් වට කරගත් ඒ මහා වේදිකාව හරහා ඇවිද ගිය විජේ දෙසට මල් මාලා පමණක් නොවෙයි, රතු සහ කහමිශ්‍ර සාටක විසි වෙන්න විය. තලපති (කොමාන්ඩර්) යන ආදරණීය නාමයෙන් හැඳින්වෙන ඉන්දීය දෙමළ සිනමාවේ අසහාය සුපිරි නළු විජේගේ දේශපාලන ආගමනය මෙයයි.

දෙමළ සිනමා ලෝලීන්ගේ වන්දනාමානයට ලක් වන විජේ දේශපාලනයට පිවිසියේ ඔහු විසින්ම පිහිටුවා ගනු ලැබූ නව පක්ෂයකිනි. ‘තමිළාහ වෙට්රි කළහම්’ (තමිල්නාඩු වික්ටරි ෆෙඩරේෂන්) යනු එමපක්ෂයයි. තමිල්නාඩුදේශපාලනයේ, සාම්ප්‍රදායිකදේශපාලනපක්ෂවලටඅභියෝගකිරීමටබිහිවුණු ‘තමිළාහ වෙට්රි කළහම්’ පක්ෂයේ වර්ණය තද රතු සහ කහය.

අප සියලු දෙනා උපතින් එක සමාන බවත්, සෑම අයිතියක්ම අප සියලු දෙනාට හිමි බවත් ‘තමිළාහ වෙට්රි කළහම්’ පක්ෂයේතේමාවය.පසුගිය 27 වැනිදා, විල්ලුපුරම් දිස්ත්‍රික්කයේ වික්‍රවන්දි නගරේ, ඒ මහා වේදිකාවේ සිට තලපති විජේ සිය මංගල දේශපාලන කතාව පැවැත්වීය. ‘වෛරී දේශපාලනයට මා විරුද්ධයි. පළිගන්නා දේශපාලනයට මා විරුද්ධයි. දේශපාලකයන් යනු ජනතා සේවකයන්. මා පැමිණියේ ජනතාවට සේවයට කිරීමටයි’ යැයි විජේ පවසද්දී, මහා ජය ඝෝෂාවක් රැස්ව සිටි පිරිස අතරින් නැගෙන්න විය.

තමන් රංගනයට සමු දී, දේශපාලනයට පිවිස ජනතා සේවයට කැපවෙන බව විජේ ඉඟිකළේ මීට වසර කිහිපයක පටන්ය. රංගන ශිල්පියකු වී සිටිද්දී පවා විජේ තමිල්නාඩුවේ දෙමළ වැසියන්ගේ දුක සැප සොයා බැලුවේය. ශ්‍රී ලංකාවේ උතුරේ දෙමළ වැසියන් වෙනුවෙන් පවා ඔහුපෙනී සිටියේය. විජේ තමිල්නාඩු වැසියන්ගේ ආදරණීය චරිතයකි. රිදී තිරයේ පමණක් නොව තිරයෙන් පිටුපසද ඔහු තමිල්නාඩු වැසියන්ගේ වීරයෙකි.

‘තමිළාහ වෙට්රි කළහම්’ පක්ෂයෙන් තමන් දේශපාලනයට පිවිසෙන බවත්, රංගනයට සමුදෙන බවත් පූර්ණ කාලීනව ජනතා සේවකයකු වන බවත් විජේ දැනුම් දුන්නේ පසුගියපෙබරවාරියේය. ඒඅනුව, විජේගේපුරෝගාමීත්වයයටතේ ‘තමිළාහ වෙට්රි කළහම්’ බිහිවිය. පක්ෂයේ නායකයා ද විජේය. පසුගිය අගෝස්තු මාසයේ පක්ෂයේ නිලධජය සහ නිල ගීතය එළිදැක්වීම සිදුවිය.

දශක ගණනක් තිස්සේ මාරුවෙන් මාරුවට තමිල්නාඩු දේශපාලනයේ බලයේ සිටින ප්‍රබල බල කණු දෙකකි. ඒ, අන්නා ද්‍රවිඩ මුනේත්‍ර කසාගම් හෙවත් ඒ.අයි.ඒ. ඩී.එම්.කේ සහ ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් හෙවත් ඩී.එම්.කේ යන පක්ෂ දෙකය. අදවනවිට තමිල්නාඩුවේ බලයේ සිටින්නේ ඩී.එම්.කේ. පක්ෂයයි. තමිල්නාඩු මහ ඇමැතිවරයා ලෙස කටයුතු කරන්නේ එම පක්ෂයේ නායක එම්.කේ. ස්ටාලින්ය. තව වසර දෙකකින් එනම් 2026 දී තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය පැවැත්වෙන අතර, තෙවැනි බලවේගය ලෙස ඊට ඉදිරිපත් වෙමින්, ඒ.අයි.ඒ. ඩී.එම්.කේ සහ ඩී.එම්.කේ. පක්ෂ දෙකට අභියෝගයක් වීම තලපති විජේ සහ ඔහුගේ ‘තමිළාහ වෙට්රි කළහම්’ පක්ෂය බලාපොරොත්තුවෙයි.

රිදී තිරයේ ජනප්‍රිය නළුවකු වුවත්, විජේට දේශපාලනය කළ හැකිද? විල්ලුපුරම් දිස්ත්‍රික්කයේ වික්‍රවන්දි නගරයේ දී විජේ කළ මංගල කතාවෙන් පසු, මුළු ඉන්දියාව ම ඔහු ගැන කතා කරන්න පටන් ගත්තේය. විවේචන පවා එල්ලවීම සිදුවිය. ‘මාගේ සිනමාව යනු සිංදුවක් හෝ නර්තනයක් හෝ රස විඳීමක් පමණක්ම නොවෙයි. මගේ සිනමාව තමිල්නාඩු සිනමාවයි. තමිල්නාඩුවේ කලාව, සාහිත්‍යය, ජීවිතය සහ සංස්කෘතිය ඊට ඇතුළත් වෙනවා. ද්‍රවිඩ මතවාද ජනතාව අතරට ගෙන යෑම කළ යුතුයි. මා උත්සාහ ගන්නේ එයයි’ යනු විජේගේ අදහසය.

තමන්ගේ දේශපාලන ප්‍රතිපත්ති තුළ තමිල්නාඩුවේ ප්‍රධානතම දේශපාලන මතවාද දෙක වන දෙමළ මතවාදය සහ දෙමළ ජාතික වාදය යන දෙකෙහිම බෙදීමක් නොමැති බවද විජේ අවධාරණය කර ඇත. දෙමළ මතවාදය දෙමළ, තෙළිඟු, කණ්නඩ, මලයාලම් යන භාෂා කතා කරන පුද්ගලයන් සියල්ල ඇතුළත් තාර්කිකවාදය, සමාජ සාධාරණත්වය පදනම් කරගත් මතවාදයක් වන අතර, දෙමළ ජාතිකවාදය යන්නෙන් අදහස්වන්නේ තමිල්නාඩුව දෙමළ භාෂාව කතා කරන්නන් සඳහා පමණක් යන්න, පසුගිය 27 වැනිදා වික්‍රවන්දි නගරේ දේශපාලන වේදිකාවේ සිට තලපති විජේ අවධාරණය කළේය.

තලපති විජේ ශ්‍රී ලංකාවේ පවා ජනප්‍රිය දෙමළ නළුවෙකි. ඔහු දෙමළ චිත්‍රපට අධ්‍යක්ෂක වරයකු වන එස්. ඒ. චන්ද්‍රෙස්කර් සහ ගායිකා ශෝබාගේ පුත්‍රයාය. විජේ උපන්නේ චෙන්නායි නුවරදීය. ඒ, 1974  වසරේ ජුනි 22 වැනිදාය. විජේ පළමුව සිනමාවට පිවිසියේ පියා 1992 වසරේ දී අධ්‍යක්ෂණය කළ ‘නාලයියාතෙරප්පු’ චිත්‍රපටයෙනි. පසුව ඔහු දකුණු ඉන්දීය සිනමාවේ අතිශය ජනප්‍රිය චිත්‍රපට ගණනාවකට රංගනයෙන් දායක වූ අතර, චිත්‍රපට ගීත 29 ක් ද ගායනා කර ඇත. ඇතැම් චිත්‍රපට සඳහා ඔහුගේ පෙනුම නිසා ඔහුව තෝරානොගත් බව ඔහු මාධ්‍ය සම්මුඛ සාකච්ඡා හමුවේ පැහැදිලිකර ඇත.

රංගනයෙන් සමුගන්නා විට, විජේ දායක වූ චිත්‍රපට ගණන 68 කි. ‘තපාකී’, ‘කාත්තී’, ‘මර්සෙල්’, ‘සර්කාර්’, ‘මාස්ටර්’ සහ ‘ලියෝ’ යනු මෑත කාලයේ අතිශය ජනප්‍රිය වූ තලපති විජේගේ සිනමා වික්‍රමයන්ය. විජේගේ අවසන් චිත්‍රපටය ‘ගෝට්’ හෙවත් ‘ග්‍රේටස් ඔෆ් ඕල් ටයිම්’ ය. මෙයද ආදායම් වාර්තා පිහිටු වූ දෙමිළ චිත්‍රපටයකි. විජේ චරිත කීපයකින් මෙම චිත්‍රපටයේ දකින්න ලැබීම ඔහුගේ අවසන් චිත්‍රපටය ලෙස ඔහුගේ රසික රසිකාවියන් අමන්දානන්දයට පත් කිරීමට හේතුවක් විය.

ඉන්දීය මාධ්‍ය ඇසුරිනි


RECOMMEND POSTS