ජීවිත බිලිගත් විජේගේ රැලිය

ඉන්දියාවෙන් තවත් තෙරපීමක් ගැන කනගාටුදායක පුවතක් පසුගිය (28) දා අසන්න පමණක් නොව දකින්නට ද ලැබුණි. තෙරපීමෙන් මියගිය ගණන 39 කි. තවත් 100 කට වැඩි දෙනකු තුවාල ලබා රෝහල්ගත කෙරුණු අතර, ඔවුන්ගෙන් කීප දෙනකුගේ තත්වය බරපතල බව පැවසෙයි.
මියගිය පිරිස අතරේ කුඩා දරුවන් 10 ක්, කාන්තාවෝ 17 ක් සහ පිරිමින් 12 ක් සිටිති. එක් පියකු, සිය මියගිය සිගිති පුතා ඔසවාගෙන රෝහලට ගොස් හඩා වැළපෙන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් ද ඉන්දීය මාධ්‍ය ඔස්සේ දකින්න ලැබුණි. තුවාල ලැබූවන්ගෙන් බොහෝ දෙනකුගේ තත්වය බරපතල බවත්, මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවත් ඉන්දීය මාධ්‍ය ඊයේ (29) වාර්තා කළේය. මේ තෙරපීම සිදුවූයේ දේශපාලන රැලියක් අතරතුරේය. තලපති විජේගේ දේශපාලන රැලියක් අතරතුරේය.
විජේ යනු තමිල්නාඩු වැසියන් දේවත්වයෙන් සලකන නළුවෙකි. විජේ ඔහු විසින් පිහිටුවූ ‘තමිළාහ වෙට්රි කළහම්’ පක්ෂය හරහා දේශපාලනයට පිවිස සිටින්නේ, ලබන වසරේ එනම් 2026 පැවැත්වෙන තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය ජය ගැනීමේ ඒකායන ඉලක්කයෙනි. ‘තමිළාහ වෙට්රි කළහම්’ පක්ෂය තමිල්නාඩුවේ තෙවැනි බලවේය යැයි දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසය. ලක්ෂ ගණනින් විජේගේ දේශපාලන රැලිවලට ඔහුගේ රසික රසිකාවියෝ ඊට සාක්ෂි දරති. කිසිදු දේශපාලන පක්ෂයක සහාය නොමැතිව, ලබන වසරේ ප්‍රාන්ත මැතිවරණයෙන් තමන්ට බහුතර බලයක් හිමිවේවි යැයි විජේගේ ද විශ්වාසයයි.
පසුගිය 28 වැනිදා තෙරපීම සිදුවූයේ තමිල්නාඩු ප්‍රාන්තයේ කරූර් දිස්ත්‍රික්කයේදී පැවැති රැලියකයි. රැලිය පැවැති ස්ථානයේ ඉඩකඩ තිබුණේ 10,000 කට පමණක් බවත්, 50,000 ක් එහි පැමිණ සිටි බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. තලපති විජේ, 28 වැනිදා දිනය පුරා නගරයෙන් නගරයට ගියේ ඡන්ද රැලි පවත්වමිනි. ඔහු කරූර් බලා පැමිණියේ පැය 7 ක ප්‍රමාදයකින් පසුවය. ඒ වනවිටත්, විජේගේ රසික රසිකාවියෝ සිටියේ නොඉවසිල්ලෙනි.
විජේ පැමිණීමත් සමඟ ඔහු දැක ගැනීමට පොරකද්දී, තෙරපීම හටගත්තේය. තෙරපීමට ලක් වී, හුස්ම ගැනීමට නොහැකිව, අසල්වැසි පොල්අතු සෙවිලි කළ කුඩා කඩයක වහලය ගලවාගෙන හුස්ම ගැනීමටත්, තෙරපීමෙන් බේරී දිවි ගලවා ගැනීමටත් උත්සාහ ගන්නා තරුණයන් පිරිසකගේ දසුන් ද ඉන්දීය මාධ්‍ය ඔස්සේ දකින්න ලැබුණි. විජේ එල්ටීටීඊ හිතවාදියෙකි. පසුගිය දා ඔහු මැතිවරණ රැලියක් අතරතුරේ කච්චතිව් දූපත ආපසු ඉන්දියාවට ලබා ගත යුතු බවය. ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි ද මෙම තීරණයේ සිටින බව තලපති විජේ පවසද්දී, රැස්ව සිටි පිරිස, එක හඩින් ‘ජයවේවා’ කියන්න වූහ. මෙය මෙරට දේශපාලනයේ ද දැඩි ආන්දෝලනයට තුඩු දුන් කාරණාවක් විය.
විජේ, ‘තමිලහ වෙට්රි කලහම්’ පක්ෂය පිහිටුවීම කළේ තමිල්නාඩුව දූෂණයෙන් තොර තැනක් කරමින්, තමිල්නාඩු වැසියන්ගේ ජීවන තත්වය උසස් කිරීමේ ඒකායන අරමුනින් යැයි පැවැසෙයි. සිනමාවෙන් ලැබූ ජනප්‍රියත්වය හේතුකොට ගනිමින් විජේ මේ වනවිට දේශපාලනයේ ද පෙරැළිකාරයෙක් වී අවසන්ය. විජේ දේශපාලනයට පිවිසියේ රංගනයට සමුදෙමිනි.
දෙමළ චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු වන එස්. ඒ. චන්ද්‍රසේකර් සහ ගායිකාවක් වන ශෝබාගේ පුත්‍රයකු ලෙස එස්. ඒ. ජෝසප් විජේ චෙන්නායිහි දී උපත ලබන්නේ 1974 වසරේ ජුනි 22 වැනිදාය. විජේපළමුව සිනමාවට පිවිසින්නේ පියා 1992 වසරේ දී අධ්‍යක්ෂණය කළ ‘නාලයියා තෙරප්පු’ චිත්‍රපටයෙනි. ඉන්පසු විජේ දකුණු ඉන්දීය සිනමාවේ අතිශය ජනප්‍රිය චිත්‍රපට ගණනාවකට රංගනයෙන් දායක වූ අතර, චිත්‍රපට ගීත 29ක් ද ගායනා කර ඇත.
මේ වන විට ඔහු රංගනයෙන් දායක වූ චිත්‍රපට 68ක් නිකුත් වී ඇති අතර, අවසන් චිත්‍රපටය ‘ජී.ඕ.ඒ.ටී’ වන අතර මෙහි ඇතැම් දර්ශන ශ්‍රී ලංකාවේ ද රූගත කෙරුණි. කමන් දේශපාලනයට පිවිසුණේ සිනමාවෙන් තාවකාලිකව විශ්‍රාම ගැනීමෙන් පසුව යැයි විජේ පවසා ඇත. විජේ ට ‘තලපති විජේ’ යැයි කියන්නේ ඔහුගේ අතිශය ජනප්‍රියත්වය නිසාය.‘තලපති’ යන්නෙහි අරුත නායකයා, ප්‍රධානියා වැනි අදහසකි.
අතිශය ජනප්‍රිය නළුවන් දේශපාලනයට පිවිසීම අරුමයක් නොවෙයි. මේ වනවිට යුක්රේනයේ ජනාධිපති ධුරය හොබවන ව්ලොදිමීර් සෙලෙන්ස්කී ද ජනප්‍රිය පඦහසන නළුවෙකි. සිනමාව හරහා රසික හදවත් දිනා, දේවත්වයට පත් වුණු නළු නිළියන් තමිල්නඩු දේශපාලනයට පිවිසීම ද එසේමය. අවස්ථා හතරක දී තමිල්නාඩුවේ මහ ඇමති ධූරයට පත් එම්. කරුණානිධි දකුණු ඉන්දීය සිනමාවේ තිර පිටපත් රචකයෙකු ලෙස කටයුතු කර ජනප්‍රියත්වයට පත් වූ අයෙකි. වර්තමානයේ තමිල්නාඩුවේ මහ ඇමති ධූරය දරන්නේ කරුණානිධිපුත්රයා එම්. කේ. ස්ටාර්ලින්ය.
පස් වතාවක් මහ ඇමති ධුරය දැරූ ජයලලිතා ජයරාම් ද දකුණු ඉන්දීය සිනමාවේ අතිශය ජනප්‍රියත්වයට පත් නිළියකි. ඊට අමතර ව එම්. ජී. රාමචන්ද්‍රන් හෙවත් එම්.ජී.ආර්. සහ ඔහුගේ මරණයෙන් හිස් වූ මහ ඇමති ධූරයට පත් වූ ඔහුගේ බිරිඳ වූ ජානකී රාමචන්ද්‍රන් ද සිනමාවේ ලැබූ ජනප්‍රියත්වයත් සමඟ දේශපාලනයට පිවිසි අයයි.
ඉන්දීය මාධ්‍ය ඇසුරිනි

