ජපන් අධිරාජ්‍යයාට ඉහළ පිළිගැනීමක්



බ්‍රිතාන්‍යයේ නිල සංචාරයකට පැමිණ සිටින ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයාට සහ මසාකෝ අධිරාජිනියට, තෙවැනි චාල්ස් රජු සහ කැමිලා පාකර් රැජිනගෙන් උණුසුම් පිළිගැනීමක් හිමිවිය.

මෙය 64 හැවිරිදි නරුහිතෝ අධිරාජ්‍යයාගේත් මසාකෝ අධිරාජිනියගේත් බ්‍රිතාන්‍යයට පැමිණ සිටින්නේ තෙදින නිල සංචාරයක් සඳහාය. ඔවුන් නැවතී සිටින හෝටලයට ගිය තෙවැනි චාල්ස් රජුගේ පුතු ඔටුන්න හිමි විලියම් කුමරු,  නරුහිතෝ අධිරාජ්‍යයා සහ මසාකෝ අධිරාජිනිය බකිංහැම් මාලිගයට කැඳවාගෙන ආවේ අශ්වාරෝහකයන් පිරිවරා ගනිමින්, රත්තරන් අශ්ව කරත්තයකිනි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ජපන් අධිරාජ්‍යයාටත්, අධිරාජිනියටත් ඉතා ඉහළ රාජකීය පිළිගැනීමක් හිමිවුණු බවය.

ජපන් අධිරාජයා සහ අධිරාජිනිය වෙනුවෙන් බකිංහැම් මාලිගයේ විශේෂ භෝජන සංග්‍රහයක් ද පැවැත්වුණු අතර, ඊට බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය රිෂී සුනාක් සහ විපක්ෂ නායක කීර් ස්ටෙමර් ද සහභාගී වූහ.

ජපන් අධිරාජයා සහ අධිරාජිනිය මෙම බ්‍රිතාන්‍ය සංචාරයට පැමිණියේ චාල්ස් රජු සහ විලියම් කුමරුන්ගේ බිරිඳ කේට් මිඩ්ල්ටන් කුමරිය පිළිකා රෝගීන් ලෙස ප්‍රතිකාර ලබමින් සිටිද්දීය. ඊට අමතරව, චාල්ස් රජුගේ සොහොයුරිය වන ඈන් කුමරිය ද අශ්වයකු එල්ල කළ ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල්ගතව සිටී.

ජපන් අධිරාජයා මීට පෙර බ්‍රිතාන්‍යයට පැමිණියේ 2022 වසරේදීය. ඒ, දෙවැනි එලිසබත් රැජිනගේ අවමංගල්‍යයට සහභාගීවීම සඳහාය. නරුහිතෝ අධිරාජ්‍යයා 1980 දශකයේ උසස් අධ්‍යාපනය ලබා ඇත්තේ බ්‍රිතාන්‍යයේදීය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS