ජපන් අගමැති ධුරයට කාන්තාවක්
ජපානයේ පාලක පක්ෂය වන්නේ ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයයි. මෙය පක්ෂ දෙකක එකතුවකි. කොන්සවර්ටිව් මතධාරීන්ගෙන් සහ ජාතිකවාදී මතධාරීන්ගෙන් සමන්විතය. ලිබරල් පක්ෂය සහ ජපාන ඩිමොක්‍රටික් පක්ෂය එක් වී, ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය පිහිටුවා ඇත. 1955 වසරේ බලයට පත්වුණු දා සිට, ජපානයේ බලයේ සිටින්නේ මෙම සන්ධාන පක්ෂයයි.
ජීවන වියදම ඉහළ යද්දී, ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ජනතා අප්‍රසාදයට පත් වීමත්, එය විපක්ෂයට වාසියක් වීමත් සමඟ, පක්ෂය කෙරෙහි ජනතා විශ්වාසය දිනා ගැනීමේ අරමුණින් පක්ෂයට නව නායකයකු තෝරා ගැනීම පසුගිය 4 වැනිදා සිදුවිය. පක්ෂ නායකත්වයට අපේක්ෂකයෝ කීප දෙනෙක් ඉදිරිපත් වූහ. ඔවුන්ගෙන් එක් අයකු වූයේ කාන්තාවකි. ඇය සනේ ටකයිචී ය
පක්ෂ සාමාජිකයන් රැස්වී නව නායකයා තෝරා ගැනීමට ඡන්දය ප්‍රකාශ කළ නමුත් පළමු වටයෙන් බහුතර ඡන්ද දිනා ගැනීමට අපේක්ෂකයන් කිසිවකුටවත් හැකිවූයේ නැත.
හිටපු අග්‍රාමාත්‍ය ජුනිචිරෝ කොයිසුමිගේ පුත් ෂින්ජිරෝ කොයිසුමි පවා අපේක්ෂකයකු ලෙස පක්ෂ නායකත්වය වෙනුවෙන් සටන් කළේය. ඔහු ජයග්‍රහණය කළේ නම් ශතවර්ෂයකට අධික කාලයකට පසු ජපානයේ ලාබාලතම අග්‍රාමාත්‍යවරයා වීමේ හැකියාව ඔහුට හිමි වීමට ඉඩ තිබුණි. ඒත් එසේ වූයේ නැත.
ජයග්‍රහණය කළේ 64 හැවිරිදි සනේ ටකයිචී ය. මැය ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ දක්ෂිණාංශික මතධාරිනියකි.
ජපානයේ පාලක පක්ෂයේ නායකයා එරට අග්‍රාමාත්‍යවරයා ද වෙයි. කොන්සවර්ටිව් පක්ෂය නායකත්වයට කාන්තාවක තෝරා ගැනුනු පළමු අවස්ථාව මෙයයි. ඒ අනුව, ජපාන අග්‍රාමාත්‍ය ධුරයට පත්වන ප්‍රථම කාන්තාව සනේ ටකයිචී ය. එබැවින් මෙය ඓතිහාසික අවස්ථාවක් බව අමුතුවෙන් කිව යුතු නොවෙයි.
සනේ ටකයිචී එසේ මෙසේ චරිතයක් නොවෙයි ඇය හිටපු මුදල් ඇමැතිවරියකි. ආරක්ෂක කටයුතු පිළිබඳ ඇමැතිවරියකි. ස්වදේශ කටයුතු පිළිබඳ ඇමැතිවරියකි. ඇය ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ නායකත්වයට පත් වූයේ සැබෑ වෙනසක් ඇති කිරීමට ඉදිරිපත් කළ දැක්ම පක්ෂයේ වැඩි දෙනාගේ පැසැසුමට හේතුවක් වුණු බැවිනි.
පසුගිය 4 වැනිදා පැවැති ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂ ඡන්ද විමසීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 295 ක් සහ සාමාජික ගාස්තු ගෙවන මිලියනයක පමණ සාමාජිකයන් පමණක් සහභාගී වූ අතර, එය ජපාන මහජනතාවගෙන් සියයට 1 ක නියෝජනයක් බව ද පැවැසෙයි.
“මේක සතුටු වෙන්න ඕනෑ වෙලාවක් යැයි මා සිතන්නේ නැහැ. පක්ෂ නායකත්වය මට හිමිවුණා. මා මේ මොහොතේ සිටම වැඩ ආරම්භ කරනවා. අපි හැමෝම එක් වෙලා කටයුතු කරන්න ඕනෑ. අපට කරන්න බොහෝ දේ තියෙනවා. අපි එකමුතුව ඉදිරි ගමනක් යන්න ඕනෑ. පැහැදිලි අනාගතයක් වෙනුවෙන්. කඩිනමින් නව ප්‍රතිපත්ති හඳුන්වා දීමක් අප කළ යුතුයි” යැයි පක්ෂ නායකත්වයට පත්වීමෙන් පසු පක්ෂ සාමාජිකයන් ආමන්ත්‍රණ කරමින් සනේ ටකයිචී පැවැසුවාය.
පක්ෂ නායකත්වය හිමිවුණු සැණින්, ටකයිචීට අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ නැත. ඒ සඳහා ද වෙනම පාර්ලිමේන්තු ඡන්ද විමසුමක් පැවැත්වෙයි. එය සිදුවනු ඇත්තේ ලබන 15 වැනිදාය.
සනේ ටකයිචී උපත ලබා ඇත්තේ 1961 මාර්තු 7 වන දින නාරා ප්‍රාන්තයේය. ඇයට දේශපාලන පවුල් පසුබිමක් තිබුණේ නැත. ඇගේ පියා මෝටර් රථ සමාගමක සේවය කළ අතර මව පොලිස් නිලධාරිනියක් වූවාය. සනේ ටකයිචී කෝබේ විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ උපාධිය ලබා ගත්තාය. පසුව ඇය එක්සත් ජනපදයේ කොන්ග්‍රස් සභිකවරියක යටතේ සේවය කළ අතර, ජපානයට පැමිණීමෙන් පසු ටීවී අෂාවි නමැති රූපවාහිනී නාලිකාවේ නිවේදිකාවක ලෙස ද කටයුතු කළාය.
1993 දී ඇය ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර, 1996 දී ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයට සම්බන්ධ වූවාය. ඇය හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේගේ ප්‍රබල අනුගාමිකාවක මෙන්ම ගෝලයකු බව ද පැවැසෙයි.
හිටපු බ්‍රිතාන්‍ය අගමැති මාග්‍රට් තැචර් තමන්ගේ ආදර්ශමත් චරිතය යැයි ඇය නිතර පවසා තිබේ. සනේ ටකයිචී, චීනය දැඩි ලෙස විවේචනය කරන්නියක් වන අතර, ජපානයේ ආරක්ෂක හැකියාවන් ශක්තිමත් කිරීමට සහ අබේගේ ආර්ථික ප්‍රතිපත්ති යළි ගෙන ඒමට සූදානම් වෙයි ඇය 2004 දී ජපන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ටකු යමමොටෝ සමඟ විවාහ වූවාය. යුවළට දරුවන් තිදෙනෙකි. 2017 දී දෙදෙනා දික්කසාද විය. ටකයිචී, 2021 දී යළි විවාහ වූවාය.
ජපන් මාධ්‍ය ඇසුරිනි