ජනප්‍රියතම පුද්ගලයා ෂාරුක්



මෙම 2023 වසරේ, ආසියාවේ ජනප්‍රියතම පුද්ගලයන්ගේ ලැයිස්තුවේ, අංක එක ස්ථානයේ සිටින්නේ බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ආසියාවේ ජනප්‍රිය පුද්ගලයන්ගේ ලැයිස්තුව සකස් කර ඇත්තේ බ්‍රිතාන්‍යයේ ‘ඊස්ටර්න් අයි’ පුවත්පතය.

සිනමාව, රූපවාහිනිය, සංගීතය, සාහිත්‍ය, කලාව සහ සමාජ මාධ්‍ය ඔස්සේ කැපී පෙනෙන මෙහෙවරක් කළ සහ ජනප්‍රියත්වයට පත්වුණු පුද්ගලයන් මෙම ලැයිස්තුවට ඇතුළත් වෙයි.

ෂාරුක් ඛාන්ගේ චිත්‍රපට දෙකක් වන ‘පඨාන්‘ සහ ‘ජවාන්’ මෙම වසරේ තිරගත වූයේ බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දමමිනි. ෂාරුක් ප්‍රධාන චරිතය නිරූපණය කරන තවත් චිත්‍රපටයක් වන ‘ඩන්කි’ දෙසැම්බර් 21 වැනිදා සිට තිරගත වෙයි.

‘ඊස්ටර්න් අයි’ පුවත්පතට අනුව, ආසියාවේ ජනප්‍රිය පුද්ගලයන්ගේ ලැයිස්තුවේ දෙවැනි සහ තෙවැනි ස්ථානවල පසුවන්නේ බොලිවුඩ් නළු නිළියන් වන ආලියා භාත් සහ ප්‍රියන්කා චොප්රාය.

විචාරකයන්ට අනුව ෂාරුක් ඛාන්ට සුවිශේෂී වසරක් ලෙස මෙම 2023 සැලකිය හැකිය. සුප්‍රසිද්ධ ‘ටයිම්’ සඟරාව නම් කළ 2023 වසරේ ලොව බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරේ ද ෂාරුක් සිටී.

ලොව ධනවත්ම රංගන ශිලීපීන් අතරේ ද ෂාරුක් ඛාන් සිටී. ෂාරුක් සතු මුළු වත්කම්වල වටිනාකම ඩොලර් මිලියන 600 කි. 1965 නොවැම්බර් දෙවැනි දා උපන් ෂාරුක් රංගන කලාවට පිවිසුණේ 1988 තිරගත වුණු රූපවාහිනී ටෙලි නාට්‍ය මාලාවකිනි.

1992 දී ‘දීවානා’ චිත්‍රපටයෙන් සිනමා ගමන ඇරඹූ ෂාරුක් සිනමාකරුවකු පමණක් නොව, ව්‍යාපාරිකයකු ද වෙයි. සුප්‍රකට ‘රෙඩ් චිලීස් එන්ටර්ටේන්මන්ට්ස්’ චිත්‍රපට නිෂ්පාදන සහ බෙදාහැරීමේ සමාගමේ අයිතිකරු වන්නේ ෂාරුක් ඛාන්ය. ඊට අමතරව, ‘ඉන්ඩියන් ප්‍රිමියර් ලීග්’ ක්‍රිකට් තරගාවලියට තරග වදින ‘කොල්කටා නයිට් රයිඩර්ස්’ පිලේ හිමිකරු වන්නේ ද ෂාරුක් ය.


RECOMMEND POSTS