චාල්ස් රජුට පිළිකාවක්



බ්‍රිතාන්‍ය තෙවැනි චාල්ස් රජු පිළිකා රෝගී තත්ත්වයකින් පෙළෙන බවත්, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීමේ අරමුණින්, චාල්ස් රජු සිය රාජකාරිවලින් තාවකාලිකව ඉවත් වන බවත්, ලන්ඩන් නුවර බකිංහැම් මාලිගය නිවේදනය කළේය.

75 හැවිරිදි චාල්ස් රජු, පිළිකා රෝගියකු බව තහවුරු වූයේ, කිරුළ දරා මාස 18 ක් ගතවෙද්දීය. චාල්ස් රජු කිරුළු පැලඳියේ දෙවැනි එලිසබත් මවු රැජිනගේ අභාවයෙන් පසුවය.

දෙවැනි එලිසබත් මහ රැජින අභාවප්‍රාප්ත වූයේ 2022 සැප්තැම්බර් 8 වැනිදාය. ඒ, දීර්ඝ කාලයක් බ්‍රිතාන්‍යයේ රජ කිරුළ දරා සිටි රාජකීයයා බවට පත් වෙමිනි.චාල්ස් රජුගේ කිරුළු පැලඳීම සිදුවූයේ පසුගිය 2023 මැයි 6 වැනිදාය.

පසුගිය ජනවාරි මාසයේ චාල්ස් රජු තෙදිනක් රෝහල්ගත විය. ඒ පුරස්ථි ග්‍රන්ථිය ඉදිමීම හේතුවෙනි.එසේ රෝහල්ගතව සිටිද්දී, රජු වෛද්‍ය පර්යේෂණ රැසකට යොමු කෙරුණු අතර, එහිදී රජුගේ සිරුරේ පිළිකා සෛල ඇති බව තහවුරු වී ඇත්තේ එම පර්යේෂණවලින් පසුවය.

චාල්ස් රජුගේ පිළිකා රෝගී තත්ත්වය සැලවුණු සැණින් තමන් මහත් සේ කම්පනයට පත්වුණු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ පවසා ඇත.

තවැනි චාල්ස් රජුට ඉක්මණින් පූර්ණ සුවය ප්‍රාර්ථනා කරන බව අග්‍රාමාත්‍ය රිෂී සුනාක් වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.

බ්‍රිතාන්‍ය විපක්ෂය වන කම්කරු පක්ෂය වෙනුවෙන් එහි නායක කීර් ස්ටෙමර් ද තෙවැනි චාල්ස් රජුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර ඇතැයි එරට මාධ්‍ය පවසයි.


RECOMMEND POSTS