කොංග්‍රස් පක්ෂ නායකත්වය මල්ලිකාර්ජුන්ට



ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන ‘කොංග්‍රස්’ පක්ෂයේ නව නායකයා ලෙස තෝරා ගැනුණු 80 හැවිරිදි  මල්ලිකාර්ජුන් කහාර් ඊයේ (26) නිල වශයෙන් එම ධුරයේ රාජකාරි ඇරැඹුවේය. ඒ, පක්ෂ ජ්‍යෙෂ්ඨ නායිකා සෝනියා ගාන්ධි සහ පක්ෂ මහ ලේකම් රාහුල් ගාන්ධිගේ සුබ පැතුම් මධ්‍යයේය.

ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ නායකත්වය වෙනුවෙන් පක්ෂ අභ්‍යන්තරයේ පසුගිය දා පැවැති ඡන්දයෙන් පක්ෂ සාමාජිකයන්ගේ වැඩි මනාපය හිමිවූයේ මල්ලිකාර්ජුන්ටය. ඒ අනුව කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළේ පක්ෂ නායකත්වයට මල්ලිකාර්ජුන් සුදුසු බවය.
මල්ලිකාර්ජුන් කොංග්‍රස් පක්ෂ පක්ෂ ජ්‍යෙෂ්ඨයෙකි. ඔහු කොංග්‍රස් පක්ෂ රජය යටතේ අමාත්‍යවරයකු ලෙස ද කටයුතු කර ඇත.

කොංග්‍රස් පක්ෂ නායකත්වය ගාන්ධි පවුලට සම්බන්ධයක් නොමැති පක්ෂ සාමාජකයකුට හිමිවුණේ වසර 24 කට පසුවය. මල්ලිකාර්ජුන් දාලිත් කුලයේ සාමාජිකයෙකි. කොංග්‍රස් පක්ෂ නායකත්වයට දාලිත් සාමාජිකයකු පත් කරගත් පළමු අවස්ථාව වන්නේ මෙයයි.

මල්ලිකාර්ජුන් පක්ෂ නායකත්වයට පත්වීමත් සමඟ පක්ෂ නායකත්වය හොබවමින් සිටි සෝනියා ගාන්ධි එම ධුරයෙන් ඉවත් වෙයි. සෝනියා ගාන්ධි පක්ෂ නායකත්වය දරන්න වූයේ සුදුස්සකු ඒ සඳහා පත් කරගන්නා තුරුය.

සෝනියා ගාන්ධිගේ පුතු රාහුල් ගාන්ධි ද පක්ෂ නායකත්වය හෙබවූ නමුත්, පසුගිය කාලයේ කොංග්‍රස් පක්ෂය ලැබූ මැතිවරණ පරාජයත් සමඟ ඔහු ද පක්ෂ නායකත්වය ප්‍රතික්ෂේප කළේය. රාහුල් ගාන්ධි, කොංග්‍රස් පක්ෂයේ වත්මන් සභාපතිවරයාය.

පසුගිය කාලයේ කොංග්‍රස් පක්ෂය පිටපිට ලැබූ මැතිවරණ පරාජය සැලකිල්ලට ගනිමින්, කෙංග්‍රස් පක්ෂයට නව නායකයකු අවශ්‍ය යැයි පක්ෂ අභ්‍යන්තරයෙන් ද හඬක් නැගුණි. කෙසේ නමුත්, ගාන්ධි පවුලෙන් පිට සාමාජිකයකුට පක්ෂ නායකත්වය ලබා දීමට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ බොහෝ දෙනෙක් අදිමදි කරන්න වූහ.

කෙසේ නමුත්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂය දිනෙන් දින ශක්තිමත් වීමත් සමඟ පක්ෂ නායකත්වයේ වෙනසක් සිදුවිය යුතු බවත් පක්ෂය නව දේශපාලන ගමනකට අවතීර්ණ විය යුතු බවත් පක්ෂ ප්‍රතිරූපය ඉහළ නංවා ගැනීමට කටයුතු කළ බවත් පක්ෂ නායකයන්ගේ අදහස වී තිබුණි.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS