උඩ ගිය කාන්තාවෝ

ඇමෙරිකා එක්සත් ජනපදයත්, සෝවියට් සමූහාණ්ඩුවත් (අද රුසියාව) එකිනෙකාට අවි අමෝරාගත් නිරවි යුද සමයේ, 1963 ජුනි 16 වැනිදා, සෝවියට් ගගනගාමිනී වැලන්ටිනා තෙරෙෂ්කෝවා, වොස්ටොක් 6 ගගන කැප්සියුලයේ ආධාරයෙන් අභ්‍යවකාශයට ගොස් ආපසු පැමිණියාය. අභ්‍යවකාශයට ගිය ප්‍රථම කාන්තාව ලෙස ඉතිහාසයට එක් වීමට වැලන්ටිනා තෙරෙෂ්කෝවා සමත්වූවාය. වොස්ටොක් 6 ගගන කැප්සියුලයේ ආධාරයෙන්, තෙරෙෂ්කෝවා පැය 70 කට ආසන්න කාලයක් අභ්‍යවකාශයේ රැඳී සිටි අතර, ඇය කැස්පිසුලයේ ආධාරයෙන්, පෘථිවිය වටා 48 වතාවක් ගමන් කළාය. එම ගමන කාන්තාවන්ට අභ්‍යවකාශයට යා හැකි බව ලොවටම පෙන්වා දුන් ඓතිහාසික අවස්ථාවක් වූ බව අමුතුවෙන් කිවයුතු නැත. වැලන්ටිනා තෙරෙෂ්කෝවා එම හපන්කම කළේ මීට අවුරුදු 62 කට පෙරය. පසුගිය 14 වැනිදා, කාන්තාවෝ හය දෙනෙක් අභ්‍යවකාශයට ගොස් ආපසු පැමිණියහ. තෙරෙෂ්කෝවාගේ වික්‍රමයෙන් පසු, කාන්තාවන්ගෙන් පමණක් සැදුම්ලත් කණ්ඩායමක් සහභාගී වූ පළමු ගගන සංචාරය මෙයයි.
අභ්‍යවකාශ ගමන් බිමන්, මේ වන විට පෞද්ගලීකරණයටත් වාණිජකරණයටත් ලක් වී අවසන්ය. අතමිටසරු ඕනෑම කෙනකුට ආසනයක් මිලදී වෙන් කර ගනිමින් අභ්‍යවකාශයට ගොස් මිනිත්තු කීපයක් ශුන්‍ය ගුරුත්වයේ පාවෙමින්, පහළින් ඇති පෘථිවිය ඇති තරම් නරඹා, ආපසු ආරක්ෂිතව පැමිණියහ හැක. පළමුවෙන් ගගන සංචාරකයන් පිරිසක් උඩ යවා ගෙන්වා ගැනීම කළේ බ්‍රිතාන්‍ය ජාතික බිලියනපති රිචඩ් බ්‍රැන්සන් ප්රමුඛ ඔහුගේ වර්ජින් ගැලෙක්ටික් සමාගමය. ඒ, මීට අවුරුදු කීපයකට පෙරය. ඉන්පසු, ඇමෙරිකන් බිලියනපති වන ජෙෆ් බෙසෝස් සහ ඔහුගේ බ්ලූ ඔරිජින් සමාගම අභ්‍යවකාශ සංචාර ආරම්භ කළේය. මේ වන විටත් ඇමෙරිකාවේ නාසා ආයතනය සමඟ අත්වැල් බැඳගෙන සිටින ලොව අංක එකේ බිලියනපති ඉලොන් මස්ක් සහ ඔහුගේ ස්පේස් එක්ස් සමාගමත් ගගන සංචාරකයන් අභ්‍යවකාශයට ගෙන ගොස් ආපසු ගෙන ඒම සිදු කරයි.
අභ්‍යවකාශයට යෑම යනු, පෘථිවි වායුගෝලයේ ඉහළටම ගොස් කාමන් සීමාව පසු කිරීමය. මෙම සීමාව ඇත්තේ කි.මී. 100 ක් ඉහළිනි. පෘථිවි වායුගෝලයේ අද්දර එසේත් නැතිනම්, අභ්‍යවකාශය හමුවන සීමාව ලෙස ජාත්‍යන්තර වශයෙන් පිළිගැනෙන්නේ මෙම සීමාවය. වර්ජින් ගැලෙක්ටික්, බ්ලූ ඔරිජින්, සහ ස්පේස් එක්ස් යන සමාගම් අභ්‍යවකාශ සංචාර ආරම්භ කළේ සංචාරකයන්, මිනිත්තු කීපයකට මෙම කාමන් සීමාව (කාමන් රේඛාව) තෙක් රැගෙන යෑමෙනි. දින දෙකක වැනි කෙටි පුහුණුවකින් පසු ඕනෑම කෙනකුට මෙම සංචාර සඳහා එක් විය හැකිය. බ්ලූ ඔරිජින් ඔවුන්ගේ අභ්‍යවකාශ කටයුතු සිදු කරන්නේ බටහිර ටෙක්සාස් ජනපදයේ, මිනිස් වාසයෙන් තොර ප්‍රදේශයක, පිහිටි ලෝන්ච් සයිට් වන් නමැති පෞද්ගලික ගගන මධ්‍යස්ථානයේ සිටය. උඩු ගුවනට යන කැස්පියුල ආපසු පැමිණෙන්නේ ද මෙම ලෝන්ච් සයිට් වන් අභ්‍යවකාශ මධ්‍යස්ථානය අසල ස්ථානයකටය.
අප අවුරුදු සමරද්දී නෑගම් යද්දී, ලෝක ඉතිහාසයේ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, කාන්තාවන් හය දෙනකු අභ්‍යවකාශයට ගෙන යෑම සහ ආපසු නිරුපද්‍රිතව ගෙන ඒම සිදු කළේ ජෙෆ් බෙසෝස් ප්රමුඛ ඔහුගේ බ්ලූ ඔරිජින් සමාගමය. බ්ලූ ඔරිජින්, අභ්‍යවකාශ සංචාර සඳහා අධි බලැති රොකට්ටුවක් සහ ගගන කැප්සියුලයක් භාවිතයට ගනී. කැප්සියුලය බ්ලූ ඔරිජින් ලෙස හැඳින්වෙන අතර, රොකට්ටුව හැඳින්වෙන්නේ, නිව් ෂෙපර්ඩ් යනුවෙනි. ඒ, අභ්‍යවකාශයට ගිය පළමු ඇමෙරිකන් ගගනගාමියා ඇලන් බී. ෂෙපර්ඩ්ව සිහි ගන්වමිනි.
බ්ලූ ඔරිජින් කැප්සියුලය සවි කෙරෙන්නේ නිව් ෂෙපර්ඩ් රොකට්ටුව මුදුනේය. රොකට්ටුවේ කාර්යය පෘථිවි ගුරුත්වයෙන් මිදී, කැප්සියුලය ඉහළට තල්ලු කිරීමය. පසුව කැප්සියුලය, රොකට්ටුවෙන් වෙන් වෙයි. පහළට වැටෙන රොකට්ටුව යළි භාවිතයට ගැනීම සිදුවෙයි. ගගන සංචාරකයන් රැගත් බ්ලූ ඔරිජින් කැප්සියුලය මිනිත්තු 11 කට පසු යළි පෘථිවියට වැටීම සිදුවන්නේ යෝධ පැරෂූට් ආධාරයෙන්, එහි වේගය කෙමෙන් අඩපණ කරමිනි. මේ සියල්ල සිදුවන්නේ පෙර සැලැසුම් කළ පරිදි ස්වයංක්රීයවය. එහෙයින්, කැප්සියුලය පවා මෙහෙයවීමක් සිදු වන්නේ නැත.
පසුගිය 14 වැනිදා (ඇමෙරිකාවේ වේලාවෙන් 13 වැනිදා) ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 7 ට බ්ලූ ඔරිජින් සමාගම, ඔවුන්ගේ නිව් ෂෙපර්ඩ් රොකට්ටුව යොදා ගනිමින් එන්.එස් 31 මෙහෙයුම ආරම්භ කළේය. කාන්තාවන් 6 දෙනකු එම ගමනට එක් වුණු අතර ඔවුන් අතරින් කැපී පෙනුනු චරිතය වූයේ ජනප්‍රිය ඇමෙරිකන් පොප් ගායිකා කේටි පෙරීය.
කේටි පෙරීට අමතරව, ඇමෙරිකන් මාධ්‍යවේදිනියක වන ලොරේන් සැන්චේස් සහ ජනප්‍රිය රූපවාහිනී නිවේදිකාවක වන ගයිල් කිං ගමනට එක්වූහ. ලොරේන් සැන්චේස් යනු ඇමෙරිකාවේ පිළිගත් මාධ්‍යවේදිනියකි. එපමණක් නොව, ඇය ජෙෆ් බේසෝස්ගේ පෙම්වතිය ද වෙයි. කාන්තාවන්ගෙන් පමණක් සැදුම්ලත් කණ්ඩායමක් අභ්‍යවකාශයට යවා ගෙන්වා ගැනීමට බෙසෝස් පියවර ගත්තේ, ඔහුගේ බ්ලූ ඔරිජින් ගගන සංචාර ප්‍රසිද්ධ කිරීමට බව අමුතුවෙන් කිව යුතු නැත. බොසෝස් සිය පෙම්වතිය ද එම ගමනට සහභාගී කිරීම සිදු කළේ ගමනේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව තහවුරු කිරීමටය. ගමනට එක්වුණු අනෙක් තිදෙනා අමන්ඩා ගයිපෙන්, අයීෂා බෝවි සහ කෙරිඈන් ෆ්ලින්ය. අමන්ඩා ගයිපෙන් සිවිල් අයිතීන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරියකි. අයීෂා බෝවි නාසා ආයතනය හා සම්බන්ධව සිටි රොකට් විද්‍යාඥවරියකි. කෙරිඈන් ෆ්ලින් චිත්‍රපට නිෂ්පාදකවරියකි.
බ්ලූ ඔරිජින් කැප්සියුලය රැගෙන නිව් ෂෙපර්ඩ් රොකට්ටුව ඉහළට යන ආකාරයත්, පසුව බ්ලූ ඔරිජින් කැප්සියුලය යළි පහළට පැමිණෙන ආකාරයත් සජීවීව දැක ගැනීමට හැකිවිය. කැප්සියුලය තුළ සවි කළ කැමරාවලින් කාන්තාවන් 6 දෙනා එම අපූරු අත්දැකීම විඳ ගන්නා අයුරු දැක ගත හැකි විය. කාන්තාවන් කෑ කෝ ගසන හඬ අසන්න ලැබුණි. කාන්තාවන් පිරිස ශුන්‍ය ගුරුත්වයේ පාවෙන අයුරු දකින්න ලැබුණි.
මිනිත්තු පහළොවකින් පමණ සියල්ල අවසන් විය. පැරෂූට් ආධාරයෙන් ආපසු ආ කැප්සිුයලය, බිමට පතිත වූයේ දූවිලි නංවමිනි. ඇතුළේ සිටි පිරිස පිටතට ගැනීම සිදු කළේ ජෙෆ් බෙසෝස්ගේ මැදිහත් වීමෙනි. පළමුවෙන්, පිටතට පැමිණියේ බෙසෝස්ගේ පෙම්වතිය ලොරේන් සැන්චේස්ය. හාදුවක් දී ඇය පිළිගැනීමට බෙසෝස් අමතක කළේ නැත. කේටි පෙරී දෙවැනියට කැප්සියුලයෙන් පිටතට පැමිණි අතර, ඇය දණින් වැටී පොළොවට හාදුවක් දුන්නාය. බයක් චකිතයක් තිබුණත් තමන් මෙම ගගන සංචාරයට එක් වූයේ තම දියණිය නිසා යැයි කේටි පසුව පැහැදිලි කළාය. අභ්‍යවකාශයට යෑම පමණක් නොව, අභ්‍යවකාශයේ සිට පෘථිවිය දකින්න ලැබීම තමන්ට අපූරු හැඟීම්බර අත්දැකීමක් වූ බව ද සුපිරි ගායිකාව පැවැසුවාය.
ඩේලිමේල් ඇසුරිනි

