ඉරාන නායකත්වය



මේ වනවිට ලෝකයේම අවධානය දිනාගෙන සිටින්නේ ඉරානයයි. ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට පහර දෙයි. ඒ, එරට ඉස්ලාමීය පාලනය අවසන් කිරීමටය. ලෝකයේ එකම යුදෙව් රාජ්‍යය ඊශ්‍රායලයයි. ඊශ්‍රායලය පිහිටන්නේ මැදපෙරදිග කලාපයේය. ලෝකයේ රාජ්‍ය මට්ටමින් ෂියා ඉස්ලාම් දහම නිල ආගම ලෙස පිළිගත් සහ ෂියා මුස්ලිම් බහුතරයක් වෙසෙන ප්‍රධානතම රාජ්‍යය ඉරානයයි. ඉරානය පිහිටන්නේ ද මැදපෙරදිග කලාපයේය. මැදපෙරදිග පිහිටියත්, ඉරානය අරාබි රටක් නොවෙයි. අරාබි රටවල් ලෙස හැඳින්වෙන්නේ ප්‍රධාන වශයෙන් අරාබි භාෂාව මව්බස ලෙස භාවිත කරන රටවල්ය. අරාබි ලීගයට අයත් වන්නේ ද මෙම රටවල්ය.

සෞදිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාරය, කුවේටය, ඕමානය, බහරේනය, ඉරාකය, ජෝර්දානය, ලෙබනනය, පලස්තීනය, සිරියාව, ඊජිප්තුව, ලිබියාව, ටියුනීසියාව, ඇල්ජීරියාව, මොරොක්කෝව, සුඩානය සහ සෝමාලියාව යන රටවල් අරාබි ලීගයේ සාමාජිකයන්ය. ඉරානය අරාබි ලීගයට අයත් නැත. ඒ ඉරානය අරාබි රටක් නොවන බැවිනි. ඉරාන වැසියන් පර්සියානුවන්ය. (අතීතයේ ඉරානය හැඳින්වූයේ පර්සියාව යනුවෙනි.) පර්සියානුවන් අරාබි ජාතිකයන් නොවෙයි. ඉරානයේ නිල භාෂාව වන්නේ ෆාර්සි ය. එය අරාබි අකුරුවලට සමාන අකුරු මාලාවකින් සැදුම්ලත් වුවත්, භාෂාව අතින් සම්පූර්ණයෙන්ම වෙනස්ය. අරාබි රටවලට මෙන් නොව, ඉරානයට වසර දහස් ගණනක් පැරණි සංස්කෘතියක් උරුමය.

ඉරාන උත්තරීතර නායකයා ලෙස කටයුතු කළ අයතුල්ලා අලි කමේනී ජීවිතක්ෂයට පත්වූයේ පසුගිය 28 වැනිදා ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක් වී, එල්ල කළ ගුවන් ප්‍රහාරවලිනි. කමේනීගේ අභාවයෙන් පසු, දැන් එම ධුරයට ඔහුගේ දෙවැනි පුත්‍රයා මජ්තාබා කමේනී පත් වී අවසන්ය. ඉරාන උත්තරීතර නායකයා තෝරා ගැනීම සිදු කරන්නේ, ඉරාන විශේෂඥ සභාව මගිනි. මෙය ඉරානයේ ප්‍රධාන පූජකයන් 88 දෙනකුගෙන් සමන්විත මණ්ඩලයකි. එම මණ්ඩලයේ සාමාජිකයන්ගේ බහුතර ඡන්දයෙන්, මජ්තාබා උත්තරීතර නායකයා ලෙස තෝරා ගැනීම සිදුවිණි. 56 හැවිරිදි මජ්තාබා, මීට පෙර කිසිදු ඉරාන රජයේ නිල තනතුරක් දරා නොමැති වුවද, ඔහු දිගු කලක සිට එම තනතුර සඳහා ප්‍රබල තරඟකරුවකු වී සිටි බව රහසක් නොවෙයි. ඉරාන ඉස්ලාමීය රජයේ නව උත්තරීතර නායකයා ලෙස, මජ්තාබා ඉරාන සන්නද්ධ හමුදාවල සේනාධිනායකයා වන අතර, අධිකරණ ප්‍රධානීන් සහ යුධ අංශවල නායකයන් පත් කිරීමේ පූර්ණ බලය ඔහු සතු වෙයි.  මජ්තාබා සිය පියා මෙන් දැඩි මතධාරී ප්‍රතිපත්ති අනුගමනය කරන අයෙකි. මජ්තාබා ලොව සිටින ධනවත්ම පුද්ගලයන්ගෙන් අයකු ලෙස ද සැලකෙයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ස්විට්සර්ලන්තය සහ වෙනත් රටවල බැංකු ගිණුම්වල ඔහුට විශාල ධනයක් ඇති අතර, බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර පවුම් මිලියන 50 ක් වටිනා සුඛෝපභෝගී නිවාස දෙකක්ද ඔහු සතු බව පැවැසෙයි. 1969 වසරේ උපත ලැබූ ඔහු ඉරාන ඉරාක යුද්ධයටද සහභාගී වී ඇති අතර, වසර ගණනාවක් තිස්සේ තම පියාගේ සමීපතම උපදේශකයා ලෙස කටයුතු කරමින් පාලන තන්ත්‍රයේ රහසිගත බලවතා ලෙස කටයුතු කර ඇත.

ඉරාන ඉස්ලාමීය ජනරජයේ ප්‍රධානියා උත්තරීතර නායකයාය. ඉහළින්ම සිටින්නේ ඔහු බව සැබෑය. නමුත් රටේ පාලනය උත්තරීතර නායකයා යටතේ කොටස් තුනකට බෙදී යයි. සියලුම බලය ඇත්තේ උත්තරීතර නායකයා සතුව නොවෙයි. එය බෙදී යයි. බෙදී යන කොටස් තුන වන්නේ, ජනාධිපතිවරයා, අධිකරණය සහ පාර්ලිමේන්තුවයි. ඉරානයේ ජනාධිපතිවරණයක් පැවැත්වෙද්දී, අපේක්ෂක නාම යෝජනා ඉදිරිපත් වූ විට, එම නම් ඉරාන ආරක්ෂක මණ්ඩලයට (ආරක්ෂක සභාව) යොමු වෙයි. ආරක්ෂක මණ්ඩලය, ගැලපෙන අපේක්ෂකයන් තෝරා ඒ විස්තර උත්තරීතර නායකයාට යොමු කරයි. උත්තරීතර නායකයාගේ කැමැත්ත හිමිවන අපේක්ෂකයන්ට ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැක. ඉන්පසු ජනාධිපති තෝරා ගැනීම ජනතා ඡන්දයෙන් සිදුවෙයි. ඉරාන පාර්ලිමේන්තුවට නියෝජිතයන් තෝර ගැනීම සිදුවන්නේ ද මේ ආකාරයට ඉරාන ආරක්ෂක මණ්ඩලය සහ ඉන්පසු උත්තරීතර නායකයා හරහාය.

ඉරාන අධිකරණ පද්ධතිය සෘජුව ඇත්තේ ද උත්තරීතර නායකයා යටතේය. අධිකරණ පද්ධතියේ ප්‍රධානියා පත් කරන්නේ උත්තරීතර නායකයාය. ආරක්ෂක මණ්ඩලයට සාමාජිකයන් 12 දෙනකු ඇතුළත් වෙයි. මේ 12 දෙනාගෙන් 6 දෙනකු ඉරානයේ ප්‍රධාන පෙළේ පූජකවරුන්ය. එම 6 දෙනා තෝරා ගැනීම සිදු කරනු ලබන්නේ උත්තරීතර නායකයා විසිනි. ඉතිරි 6 දෙනා විද්වතුන්ය. මොවුන් තෝරා ගැනීම කරන්නේ අධිකරණයයි. අධිකරණය තෝරා ගන්නා එම හය දෙනාට අනුමැතිය ලබා දීම කරන්නේ ඉරාන පාර්ලිමේන්තුවය.

ඉරාන පාර්ලිමේන්තුවට සතු බලතල ඉහළය. පාර්ලිමේන්තුව සහ ආරක්ෂක මණ්ඩලය අතරේ ව්‍යවස්ථාමය කරුණු කාරණා සම්බන්ධයෙන් මත ගැටුම් හටගන්නා අවස්ථාවේදී, ඒවා විසඳීමට මැදිහත් වන තවත් මණ්ඩලයක් නැතිනම් සභාවක් ඇත. මෙය උචිතතා නිර්ණායක සභාව යන නමින් හැඳින්වෙයි. මෙය විනිශ්චය මණ්ඩලයකි. පාර්ලිමේන්තුව සහ ආරක්ෂක මණ්ඩලය අතරේ හටගන්නා සියලුම ගැටුම්කාරී තත්ත්වයන් සමථයකට පත් කිරීමට මෙම සභාව පියවර ගනී. එමෙන්ම මෙම සභාවේ ප්‍රධාන කාර්යය වන්නේ උත්තරීතර නායකයාට උපදේශකයන් ලෙස කටයුතු කිරීමය.

ඉරාන ඉස්ලාමිය ජනරජය දෙමුහුන් දේශපාලන පද්ධතියකි. මෙය නිර්මාණය වූයේ 1979 ඉරාන විප්ලවයෙන් අනතුරුවය. ආණ්ඩු බලය විවිධ පාර්ශ්වයන් අතරේ බෙදී යෑමක් සිදු කර ඇත්තේ ඒ නිසාය. දැන් අපි ඉරානයේ උත්තරීතර නායකයා තෝරා ගැනීම සිදුවන්නේ කෙසේදැයි බලමු. 1979 ඉරාන විප්ලවයෙන් පසු ඒ සඳහා ද විශේෂ සභාවක් ස්ථාපිත කර ඇත. විශේෂඥ මණ්ඩලය නැතිනම් විශේෂඥ සභාව යනුවෙන් හැඳින්වෙන්නේ මෙයයි. මුලදී සඳහන් කළ පරිදි මෙම මණ්ඩලයේ සාමාජිකයන් 88 දෙනෙකු සිටින අතර ඔවුන් සියලු දෙනා ප්‍රධාන පෙළේ ජ්‍යෙෂ්ඨ පූජකවරුන්ය. උත්තරීතර නායකයා තෝරා ගැනීම පමණක් නොව, ඔහු ගැන වගකීම දරන්නේ ද මෙම මණ්ඩලයයි.

 ඉරාන ව්‍යවස්ථාවට අනුව, ඉරාන උත්තරීතර නායකයා තමන්ගේ රාජකාරිය හරිහැටි නොකරන්නේ නම් හෝ ඔහුගේ තීන්දු තීරණ සැමවිටම නිවැරදි නොවන්නේ නම්, ඔහු බලයෙන් ඉවත් කර වෙනත් උත්තරීතර නායකයකු පත් කර ගැනීමේ බලය ඇත්තේ ද මෙම මණ්ඩලයටය. උත්තරීතර නායකයා මියගියහොත්, නව නායකයකු හැකි ඉක්මනින් තෝරා ගැනීම කළ යුත්තේ ද මෙම මණ්ඩලයයි. අයතුල්ලා අලි කමේනී ඝාතනය වීමෙන් පසු නව උත්තරීතර නායකයකු තෝරා ගැනීම සිදුවූයේ සාමාජිකයන් 88 දෙනා රැස්වීමෙනි.

නව උත්තරීතර නායකයකු පත් කර ගන්නා තුරු, ත්‍රිපුද්ගල කමිටුවක් මගින් ඉරාන රජය මෙහෙයවීය. ඒ, ජනාධිපතිවරයා, අධිකරණය සහ ආරක්ෂක මණ්ඩලය එක් වෙමිනි. අධිකරණය වෙනුවෙන් එහි ප්‍රධානියා සහ ආරක්ෂක මණ්ඩලය වෙනුවෙන් එක් සාමාජිකයකුත් එම කමිටුවට ඇතුළත් වී සිටි බව පැවැසෙයි. ඉරානයේ ජනාධිපති ලෙස කටයුතු කරන්නේ මධ්‍යස්ථමතධාරී මසූඩ් පෙසෙෂ්කියැන්ය. ඉරානය, මේ ආකාරයට දේශපාලන පද්ධතියක් සකස් කර ඇත්තේ ද උත්තරීතර නායකයා නැතිව පවා රටේ කටයුතු නිසි පරිදි පවත්වාගෙන යෑමටය. උත්තරීතර නායකයා නැහැයි කියා ඉරාන රෙජීමයේ බලය කිසි ලෙසකින් අඩු වීමක් සිදු නොවෙයි. ඇමෙරිකාව සහ ඊශ්‍රායලය දිගින් දිගටම පහර දුන්නත්, ඉරාන ඉස්ලාමීය ජනරඩය පෙරළා දැමීමට නොහැකි මේ නිසාය.

ඉරානයේ හමුදා දෙකකි. ලෝකයේ හමුදා දෙකක් ඇති එකම රට වන්නේ ඉරානයයි. මෙම හමුදා දෙක එකිනෙකට වෙනස් කාර්යභාරයන් ඉටු කරයි. ඉරාන ඉස්ලාමීය ජනරජයේ යුද හමුදාව (Artesh) සහ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC - Sepah) යනු එම හමුදා දෙකය. ඉරාන ඉස්ලාමීය ජනරජයේ එරට සම්ප්‍රදායික ජාතික හමුදාවයි. මෙහි මූලික වගකීම වන්නේ ඉරානයේ භූමිය, ගොඩබිම, මුහුද සහ ගුවන් සීමාව බාහිර ආක්‍රමණයන්ගෙන් ආරක්ෂා කිරීමය. මෙයට ගොඩබිම් හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව සහ ගුවන් ආරක්ෂක බලකාය යන අංශ හතරම ඇතුළත් වේ. මෙය ඉරානයේ ඉස්ලාමීය පාලනයට පෙර, ෂා රජුගේ පාලන යටතේ සිට පැවැත එන හමුදාවය. ඉරාන විප්ලවවාදීන්ට මෙම හමුදාව කෙරෙහි ලොකු විශ්වාසයක් පැවැතියේ නැත. ඒ අනුව, ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) පිහිටුවීම සිදුවිය.

ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය යනු 1979 ඉස්ලාමීය විප්ලවයෙන් පසුව පිහිටුවන ලද ඉතා බලගතු හමුදාමය සහ දේශපාලනික ඒකකය යැයි කීවොත් එය නිවැරදිය. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ ඉරානයේ ඉස්ලාමීය පාලන ක්‍රමය ආරක්ෂා කිරීම සහ ඉරාන විප්ලවයට එල්ල වන අභ්‍යන්තර හෝ බාහිර තර්ජන මැඩපැවැත්වීමයි. ඇමෙරිකා හිතවාදීන් ඉරාන ඉස්ලාමීය පාලනයට එරෙහිව විරෝධතා පවත්වද්දී පොලිාසිය සමඟ එක් වී එම විරෝධතා මර්දනය කරන්නේ ද මෙම හමුදාවය. මෙම හමුදාවට තමන්ගේම ගොඩබිම්, නාවික සහ ගුවන් අංශ පවතී. විදේශීය මෙහෙයුම් සඳහා කුඩ්ස් නමින් අතිරේක බලඇණියක් සහ බසීජ් නමැති ස්වේච්ඡා සන්නද්ධ කණ්ඩායමක් ද ඇතුළත් වෙයි. ඉරාන හිතවාදී හිස්බුල්ලා සංවිධානය සමඟත්, සිරියාවේ හූති සටන්කාමීන් සමඟත් සම්බන්ධකම් පවත්වන්නේ කුඩ්ස් සහ බසීජ් ය. මේ වනවිට ඇරිකාව සහ ඊශ්‍රායල හමුදා ඉරානයට පහර දේදදී, ඊට ප්‍රතිචාර දක්වමින් ප්‍රතිප්‍රහාර එල්ල කරන්නේ ද මෙම බලකායයි. ඉරානයේ ඉස්ලාමීය පාලනය සම්පූර්ණයෙන් අවසන් කිරීමට නම්, ඇමරිකාව ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය සහ පොලිසිය ද මුළුමනින්ම අඩපණ කළ යුතුය.

අල් ජසීරා ඇසුරිනි


RECOMMEND POSTS