ඉන්දීය අගමැති මෝදි පොරොන්දුව ඉටු කරයි



ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගී වූ ඔලිම්පික් කණ්ඩායම ඇගයීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කටයුතු කළේය. ඒ, ඔලිම්පික් කණ්ඩායම වෙනුවෙන් විශේෂ උපහාර උත්සවයක් නවදිල්ලි අගනුවර පවත්වමිනි.

එම අවස්ථාවේදී, අග්‍රාමාත්‍ය මෝදි ඔහු විසින් කරනු ලැබූ පොරොන්දුවක් ඉටු කිරීමට අමතක නොකළේය. ඒ, ඉන්දීය බැඩ්මින්ටන් ශූරිය පී.වී. සින්දු සමඟ ඇයගේ ප්‍රියතම අයිස් ක්‍රීම් රස බැලීමය.

ඔලිම්පික් උළෙලට යෑමට පෙර, පසුගිය ජූලි 13 වැනිදා ඉන්දීය ක්‍රීඩක ක්‍රිඩිකාවන් වීඩියෝ තක්ෂණය ඔස්සේ සම්බන්ධ කර ගනිමින් ඔවුන් දිරි ගැන්වීමටත් අග්‍රාමාත්‍ය මෝදි කටයුතු කළේය. ඊට බැඩ්මින්ටන් ශූරිය පී.වී. සින්දු ද එක්වූවාය.

මීට පෙර, 2016 රියෝ ඔලිම්පික් උළෙලට ද පී.වී. සින්දු ඉන්දියාව නියෝජනය කරමින් එක් වූ අතර, රියෝ නුවරදී අයිස් ක්‍රීම් කෑමට උත්සහ ගත් බැවින්, සින්දු ට ඇගේ පුහුණුකරුගෙන් තහංචි පැනැවිණි. එම සිදුවීමට මාධ්‍ය හරහා ප්‍රසිද්ධියක් ද ලැබුණි.

ජූලි 13 වැනිදා වීඩියෝ තාක්ෂණයෙන් සම්බන්ධ වූ අවස්ථාවේදී, ආග්‍රාමාත්‍ය මෝදි එම අතීත සිදුවීම යළි මතක් කරමින් ඒ ගැන සින්දුගෙන් විමසීමක් කළේය.

ඔලිම්පික් තරගාවලියක් අතරතුරේ ආහාර ගැනීම සීමා කිරීමට සිදුවන බව සින්දු අග්‍රාමාත්‍යවරයාට පැහැදිලි කළාය. කෙසේ හෝ අවසානයේ එම කතාබහ අවසන් වූයේ, 'ඔයා ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී පදක්කමක් දිනුවොත් මම ඔයා එක්ක ඔයා කැමැතිම අයිස් ක්‍රීම් රස බලනවා' යැයි මෝදි පවසමිනි. අග්‍රාමාත්‍ය මෝදි සහ සින්දු අතරේ සිදුවුණු මෙම කතාබහ ද ඉන්දීය මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් විය.

ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී, සින්දු ලෝකඩ පදක්කමක් දිනා ගනිමින් ඉන්දියාවට කීර්තියක් ලබා දීමට සමත් වූවාය.

සින්දුගේ එම ජයග්‍රහණයත් සමඟ ඉන්දීය මාධ්‍ය දිගින් දිගටම වාර්තා කරන්න වූයේ 'මෝදිට ඔහුගේ පොරොන්දුව ඉටු කරමින්, අයිස් ක්‍රීම් කෑමට සිදුවෙනවා' යනුවෙනි. නවදිල්ලියේ පැවැත්වුණු උපහාර උත්සවයේදී, පොරොන්දුව ඉටු කරමින් අග්‍රාමාත්‍ය මෝදි, බැඩ්මින්ටන් ශූරිය සින්දු අයිස් ක්‍රීම් රස බැලුවේ එ් අනුවය.

(ඉන්දීය මාධ්‍ය ඇසුරිනි)


RECOMMEND POSTS