ඇන්ජොලීනා හිටිහැටියේ යුක්රේනයට



සම්මානනීය ජනප්‍රිය හොලිවුඩ් නිළියක මෙන්ම, එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ ඒජන්සියේ විශේෂ නියෝජිතවරියක ද වන ඇන්ජොලීනා ජෝලී පෙර දැනුම් දීමකින් තොරව යුක්රේනයේ කීව් අගනුවර බලා පැමිණියාය.

46 හැවිරිදි ජෝලී සමඟ එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ ඒජන්සියේ නියෝජිතයන් කණ්ඩායමක් ද කීව් අගනුවර බලා පැමිණි අතර, ඔවුන් පැමිණෙන බව දැන සිටියේ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සහ යුක්රේන රජයේ ඉහළ නිලධාරීන් කීප දෙනකු පමණි. ඇන්ජොලීනා ජෝලීගේ යුක්රේන සංචාරයට ප්‍රසිද්ධියක් ලබා නොදුන් බව පැවැසෙන්නේ ආරක්ෂක හේතූන් සැලකිල්ලට ගනිමිනි.

රුසියන් හමුදා මිසයිල ප්‍රහාරවලින් ආරක්ෂා වෙමින් සිවිල් වැසියන් රැඳී සිටින්නේ උමං දුම්රිය ස්ථානවලය. කීව් අගනුවර උමං දුම්රිය ස්ථාන ද සිවිල් වැසියන්ගෙන් පිරී පවතී. ජෝලී එම උමං දුම්රිය ස්ථාන වෙත ගොස් උන්හිටිතැන් අහිමිවුණු යුක්රේන වැසියන්ගේ සුවදුක් විමසා බැලීමට අමතක නොකළාය.

රුසියන් ප්‍රහාර හමුවේ යුක්රේන වැසියන් මිලියන 12.7 ක් පසුගිය මාස දෙකක කාලයේ යුක්රේනයෙන් පලා ගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ වාර්තාවක සඳහන් වෙයි.

ජෝ ලී කීව් අගනුවරට පැමිණ උන් හිටිතැන් අහිමි වුණු යුක්රේන වැසියන්ගේ සුබ දුක් විමසීමට යද්දී කීව් ආරක්ෂක අංශ අනතුරු ඇඟවීමේ නළා නාද කරන්න විය.

ඒ, රුසියන් හමුදා මිසයිල ප්‍රහාරයක් නගරය දෙසට එල්ල වෙනවා යැයි බියක් හටගත් බැවිනි. ආරක්ෂක නිලධාරීහු කඩිමුඩියේ ජෝලී කීව් අගනුවර භූගත බංකරයකට ගෙන ගොස් ඇයට ආරක්ෂාව ලබා දුන්හ. එම සිද්ධියේ වීඩියෝ දසුන් මේ වනවිට විදෙස් මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් වී තිබේ.

(ඒ.එෆ්.පී)


RECOMMEND POSTS