ආන්දෝලනයක්: ’ජයිභීම්’



සූර්යා දෙමළ සිනමාවේ වීරයෙකි. සූර්යාගේ නවතම චිත්‍රපටය 'ජයිභීම්' Jai Bhim ඉන්දියාවේ පමණක් නොව, ලොව පුරා මහත් අන්දෝලනයක් ඇති කර අවසන්ය. 'ජයිභීම්' යන්නෙහි අර්ථය 'භීම්ට ජයවේවා' යන්නය. 'භිම්' යනු ඉන්දියාවේ කුල ක්‍රමයට එරෙහිව නැගී සිටි භිම්රාඕ රාම්ජී අම්බේඩ්කර්තුමන් ය.

'ජයිභීම්'  චිත්‍රපටය, The Shawshank Redemption සහ The Godfather යන අගනා සිනමා නිර්මාණ අභිබවා යමින්,  IMDb දර්ශකයේ 9.6 අගයක් පෙන්නුම් කර තිබීම විශේෂත්වයකි. ගූගල් පරිශීලකයන් සියයට 97ක් 'ජයිභීම්'  චිත්‍රපටය සඳහා සිය කැමැත්ත ප්‍රකාශ කර ඇත. 'ජයිභීම්' චිත්‍රපටයට පාදක වන්නේ සත්‍ය චරිත සහ සත්‍ය සිදුවීම් මාලාවකි. ඉතාමත් සංවේදී සහ ඛේදනීය සිදුවීම් මාලාවකි.

චිත්‍රපටයේ කතාව ඉන්දියාවේ කුල භේදයයි. ඉතාමත් මහත් ඡන්ද ලේඛනයට පවා නම ඇතුළත් නොකරන, නයි අල්ලා සහ කුලී වැඩ කරමින් ජීවත් වන අධ්‍යාපනයක් නොලැබූ, ලියන්න කියවන්න හෝ නොහැකි අසරණ ගෝත්‍රික වැසියන්ට ගමේ බලවතුන්ගෙන් සහ පොලිසියෙන් සිදුවන අමානුෂික කෙණෙහිලිකම් සහ ඊට එරෙහිව යුක්තිය වෙනුවෙන් සටන් වදින නීතිඥවරයකු වටා 'ජයිභීම්' ගෙතෙයි.

සූර්යා, චන්දෘ නමැති මෙම නීතීඥවරයාගේ චරිතයට පණ පොවයි. චිත්‍රපටයට පාදක වන සිදුවීම 1995 වසරේ සිදුවුණු සිදුවීමකි. චිත්‍රපටයේ මෙන්ම සැබෑ ජීවිතයේ ද චන්දෘ නමැති මෙම මහාධිකරණ නීතීඥවරයා පීඩිතයන් වෙනුවෙන් සේවය ලබා දෙන්නේ නොමිලේය. ඔහු 10,000 කට වැඩි කුලහීන අහිංසක වැසියන්ට පිහිට වී තිබේ.

සූර්යා මෙන්ම බිරිඳ ජෝතිකා ද චිත්‍රපටයට නිෂ්පාදනයෙන් දායක වී ඇත. දෙදෙනා එක් වී, පාසාන්කුඩි අධ්‍යාපන අරමුදලට ඉන්දියානු රුපියල් කෝටියක පරිත්‍යාගයක් සිදු කර ඇත. ඒ කුලහීන දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු නංවාලීම වෙනුවෙනි.

'ජයි භීම්' ටී.ජේ. ඥානවේල්ගේ අධ්‍යක්ෂණයකි. චිත්‍රපටයෙන් ඉතා සංවේදී කතා පුවතක් පිළිබිඹු වීමත් සමඟ ඊට විරෝධයක් එල්ල විය. සූර්යාට තර්ජන එල්ල විය. ඒ අනුව මේ වනවිට සූර්යාගේ චෙන්නායි නිවසට පොලිස් ආරක්ෂාව යොදවා ඇත. ආයුධවලින් සන්නද්ධ පොලිස් නිලධාරීන් නිවස ඉදිරිපිට සිටිනවා යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

චිත්‍රපටය කොතරම් ආන්දෝලනාත්මක එකක්දැයි අවබෝධ කර ගැනීමට ඔබ එය නැරැඹිය යුතුය. මිනිත්තු 164 ක ධාවන කාලයකින් යුත් 'ජයිභීම්' Amazon Prime Video හරහා නැරැඹීමට අවස්ථාව උදා වි ඇත. චිත්‍රපටය ජාත්‍යන්තරයේ අවධානය දිනුවේ ඒ අනුවය.සිනමාහල්වල තිරගත වූයේ නම් 'ජයිභීම්' සම්බන්ධයෙන් මෙතරම් උනන්දුවක් ඇති නොවීමට ඉඩ තිබුණු බව ටී.ජේ. ඥානවේල්ගේ අදහසය.

බාබාසහේබ් යන ආදර නාමයෙන් ද හැඳින්වෙන, භිම්රාඕ රාම්ජී අම්බේඩ්කර්තුමන් (1891–1956) ඉන්දියානු නීතිවේදියෙකි. දේශපාලන නායකයෙකි. දර්ශනවේදියෙකි. මානව විද්‍යාඥයෙකි. ඉතිහාසඥයෙකි. කථිකයෙකි. ආර්ථික විද්‍යාඥයෙකි. ගුරුවරයෙකි. සංස්කාරකයෙකි. මහජන ලේඛකයෙකි. විප්ලවවාදියෙකි. ඒ සියල්ලටම වඩා ඉන්දියාවේ බුද්ධාගම සඳහා පුනර්ජීවනවාදියෙක් වූ තැනැත්තෙකි.

අම්බේඩ්කර්තුමන් ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි ප්‍රධාන නිර්මාතෘ ද වෙයි. දුගී මාහර් (කුලහීන කුලයේ යැයි සැලකුණු) පවුලකට උපන් අම්බේඩ්කර්, චතුර්වර්ණ ක්‍රමය නම් සමාජ විවසනයට – වර්ණ සතරකට හින්දු සමාජය වර්ගීකරණය කිරීම – සහ හින්දු කුල ක්‍රමයට විරුද්ධව ව්‍යාපාරයක් ගෙන ගියේය.

බුද්ධාගම වැළඳගත් ඔහු වෙත, දලිත් වරුන් හෝ කුලහීන අය හෝ දහස් ගණනක් ථේරවාද බුද්ධාගම වැළඳගැනුම සඳහා කරළිය සකස්කිරීම පිළිබඳව ගෞරවයද හිමි හිමිවී ඇත. බොහෝ සමාජ සහ ආර්ථික බාධක අභිබවමින්, ඉන්දියාවෙහි ශාස්ත්‍රාල අධ්‍යාපනය ලැබූ පළමු දලිත්වරුන් (කුලහීනයන්) අතුරින් එක් අයෙකු වීමට අම්බේඩ්කර්තුමන් සමත් විය. අම්බේඩ්කර්තුමන් ගැන ලාංකීක අප දන්නේ මඳ වශයෙනි.

එහෙත්, මුළු භාරතයම එතුමා ගැන ඉතා හොඳින් දනී. ගෞරව කරයි. භාරතයේ ඇති අනුස්මරණ ප්‍රතිමා වලින් 80%ක් පමණම ඇත්තේ අම්බේඩ්කර්තුමන්ගේ ප්‍රතිමාය. අද ජාත්‍යන්තරව ආදර්ශයට ගත හැකි හොඳම රාජ්‍ය ව්‍යවස්ථාව නිර්මාණය කිරීමේ ගෞරවය හිමිවන්නේ එතුමාටය. නීතිය පිළිබඳ නිදහසෙන් පසු ඉන්දීය රජයේ නීතිය පිළිබඳ ප්‍රථම ඇමැතිතුමා වූ මෙතුමා රාජ්‍ය ව්‍යවස්ථාව නිර්මාණය කිරීමේ මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කළේය. 1956 වසරේ දී අම්බේඩ්කර්තුමන් ආධාරකරුවන් 600,000 ක් සමඟ බුද්ධාගමට හැරීම සඳහා දලිතයන් විශාල වශයෙන් පරිවර්තනය කිරීම ආරම්භ කළේය. ඔහු ඉන්දියාවේ බුද්ධාගම පුනර්ජීවනය කළේය.

1990 දී ඉන්දියාවේ ඉහළම සිවිල් සම්මානය වන භාරත් රත්න අම්බෙඩ්කර්ට මරණින් පසු ප්‍රදානය කරන ලදී. අම්බේඩ්කර්තුමන්ගේ උරුමයට ජනප්‍රිය සංස්කෘතියේ බොහෝ ස්මාරක සහ නිරූපණයන් ඇතුළත් වේ. සමාජෙ දේශපාලන ප්‍රතිසංස්කරණවාදියෙකු ලෙස අම්බේඩ්කර්තුමන්ගේ උරුමය නූතන ඉන්දියාව කෙරෙහි ගැඹුරු බලපෑමක් ඇති කළේය. අම්බෙඩ්කර් ජයන්ති (අම්බේඩ්කර්තුමන්ගේ ජන්ම දිනය) අප්‍රේල් 14 වන දින සමරනු ලබන අතර එය ඉන්දියාවේ පමණක් නොව ලොව පුරා සමරනු ලැබේ. අම්බෙඩ්කර් ජයන්ති ඉන්දියාව පුරා නිල රජයේ නිවාඩු දිනයක් ලෙස සමරනු ලැබේ.


RECOMMEND POSTS