අවි අතට ගත් සුරූපිනිය



2015 වසරේදී ඇය යුක්රේනය නියෝජනය කරමින්, ලෝක රූ රුජිනක ලෙස කිරුළු පැලැඳියාය. අද ඇය අඩි උස සපත්තු පැත්තකට දමා, හමුදා බූට්ස් සපත්තු පැලැඳ, ප්‍රහාරක ගිනි අවියක් අතැතිව සටන් බිමට පිවිස සිටින්නීය. රුසියන් හමුදා යුක්රේනය වටලා පහර දෙද්දී, රට වෙනුවෙන් අවි දැරිය හැකි හැමෝම සටනට එන්නැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි කළ ඉල්ලීම සැලකිල්ලට ගනිමින් ඇය අවි අතට ගත්තාය. ඇය 24 හැවිරිදි සුරූපිනියක වන අනස්ටාෂියා ලීනා ය.

රුසියන් හමුදා ප්‍රහාර හමුවේ, බියෙන් සැගවී සිටීමට හෝ යුක්රේනයෙන් පලා යෑමට හෝ අනස්ටාෂියාට හැකියාව තිබුණි. ඒත් ඇය එසේ නොකළාය. සෙසු යුක්රේන වැසියන් මෙන්ම, තම රට වෙනුවෙන්, නිදහස වෙනුවෙන්, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඇය සටන් වැදීමට තීරණය කළාය. අනස්ටාෂියා ගැන විදෙස් මාධ්‍ය බොහෝ දේ කතා කරන්නේ ඒ නිසාය. ඔවුන් ඇය හදුන්වා දී ඇත්තේ යුද්ධයට ගිය ‘යුක්රේන රූප සුන්දරී’ යනුවෙනි. අනස්ටාෂියා පමණක් නොව, මේ වනවිට යුක්රේන තරුණ තරුණියයෝ බොහෝ දෙනෙක් ද අවි අතට ගෙන රුසියන් හමුදා සමඟ සටන් වැදීමට ඉදිරිපත් වී සිටිති.

2015 වසරේ පැවැත්වුණු ‘මිස් ග්‍රෑන්ඩ්’ ජාත්‍යන්තර තරගාවලියයේ දී යුක්රේනය නියෝජනය කරමින් ඉදිරිපත් වූ සුරූපිනිය අනස්ටාෂියා ය. එදා ඇය යුක්රේනයට කිර්තියක් දෙමින් කිරුළු පැලැදියාය. ඇය කියෙව් අගනුවර ස්ලවිස්ටික් විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර කළමණාකරණය සම්බන්ධයෙන් උපාධිධාරිනියකි. අනස්ටාෂියා නිරූපිකාවක ලෙසත්, තුර්කියේ මහජන සබදතා නිලධාරිනියක ලෙසත් රැකියාව කළ තැනැත්තියකි. අනස්ටාෂියා භාෂා පහක් හොදින් පුළුවනි. එමෙන්ම ඇය භාෂා පරිවර්තිකාවක ලෙස ද රැකියාව කර ඇත.

අනස්ටාෂියාට පමණක් නොව, යුක්රේන තරුණ තරුණියන්ට අවි අතට ගන්නැයි දිරිමත් කළ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී,මීට වසර තුනකට පෙර රූපවාහිනී විකට නළුවකු විය. ඔහු යුක්රේන වැසියන් අතර ජනප්‍රිය වූයේ ප්‍රහසන රූපවාහිනී කතා මාලාවක යුක්රේන ජනාධිපති ලෙස රංගනයෙන් එක් වෙමිනි. විකට නළුවකු ලැබුණු ජනප්‍රියත්වය ජනපතිවරණයෙන් ජය ලැබීය. ජනපති ධුරයට පත් වෙද්දී සෙලෙන්ස්කී ට කිසිදු දේශපාලන අත්දැකීමක් නොතිබුණි. ඒත් දැන්, ඔහු යුක්රේන හමුදාවට නායකත්වය දෙමින්, යුක්රේන වැසියන් දිරි ගන්වමින්, යුද පෙරමුණට වී රුසියන් ආක්‍රමණයට එරෙහි වෙයි. තරුණ තරුණියන් පමණක් නොව, අනස්ටාෂියා ද සටනට යොමු වූයේ ‘ජනාධිපතිතුමා සටනට යනවා නම් අපිත් එනවා’ යැයි පවසමිනි. තරුණ තරුණියන් පමණක් නොව, අවුරුදු 80 ත් 85 ත් වයස්වල පසුවන වැඩිහිටියන් පවා මේ වනවිට යුක්රේන හමුදාව සමග එක් වී සිටින බව යුක්රේන පුවත් සේවා වාර්තා කර තිබේ.

ජනාධිපති සෙලෙන්ස්කී ඇත්තටම නිර්භීත නායකයකු බව අනස්ටාෂියා සිය සමාජ මාධ්‍ය ඔස්සේ පවසා තිබේ. හමුදා සෙබළියක සේ සැරැසී, බූට්ස් සපත්තු පැලැඳ ගිනි අවියක් අතට ගත් අනස්ටාෂියාගේ ඡායාරූප මේ වනවිට ඇගේ සාමාජ මාධ්‍ය ගිණුම්වල පමණක් නොවෙයි, සෙසු සමාජ මාධ්‍ය ජාලාවලත් ප්‍රසිද්ධියට පත් වී තිබේ. අනස්ටාෂියාට මීට පෙර අවස්ථා කීපයකදී ගිනි අවි පුහුණවක් ලැබී තිබේ. එහෙයින් සෙසු තරුණ තරුණියන් මෙන් ලී තුවක්කු අත දරා ගනිමින් පුහුණුවීමක් අවශ්‍ය නොවන බව ද යුක්රේන මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ඩේලිමේල් ඇසුරිනි


RECOMMEND POSTS