අලුත් සුපර්මෑන්

සිනමාකරු ජේම්ස් ගන්ගේ සුපර්මෑන් චිත්රපටය මේවනවිට බොක්ස් ඔෆිස් වාර්තා තබමින් තිරගත වෙයි.
ඇමෙරිකන් ඩොලර් මිලියන 225 ක් වැය කරමින් නිර්මාණය කළ මිනිත්තු 129 ක ධාවන කාලයකින් යුත් සුපර්මෑන් ද චිත්රපටය ඇමෙරිකන් ඩොලර් මිලියන 273 ක් උපයා ඇත්තේ සුපර්මෑන් අයත් ඩී.සී. චිත්රකතා රසික රසිකාවියන්ගේ පමණක් නොව, විචාරකයන්ගේ ද පැසැසුමට ලක් වෙමිනි.

සැක් ස්නයිඩර්ගේ හෙන්රි කැවිල් සුපර්මෑන් සහ ජේම්ස් ගන්ගේ සුපර්මෑන් සැබැවින්ම අහසට පොළොව වැනිය. ඒ ගැන විවාදයක් නැත. ජේම්ස් ගන්ගේ සුපර්මෑන්, සුපර්මෑන් චිත්රකතාවලට අනුගත වෙමින් නිර්මාණය කරන ලද්දකි.
ජේම්ස් ගන්ගේ සුපර්මෑන් සහ ක්ලාක් කෙන්ට්ගේ චරිතයට පණ පොවන්නේ, ඩේවිඩ් කොරෙන්ස්වෙට්ය. සුපර්මෑන්ගේ පෙම්වතිය ලොයිස් ලේන්ගේ චරිතයට පණ දෙන්නේ රේචල් බ්රොස්නහාන්ය.
ඩේවිඩ් කොරෙන්ස්වෙට්ය සහ රේචල් බ්රොස්නහාන් ඔවුන්ගේ චරිතවලට උපරිම සාධාරණයක් ඉටු කරන බව අමුතුවෙන් කිව යුතු නොවෙයි. සුපර්මෑන්ට වඩා ලොයිස් චිත්රපටයේ කැපී පෙනෙන අවස්ථා ඇත.
චිත්රපටයේ ප්රධාන නපුරා ලෙක්ස් ලූතර්ගේ චරිතයට පණ පොවන්නේ නිකලස් හෝල්ට්ය.

මෙම සුපර්මෑන් චිත්රපටය සුපර්මෑන්ගේ ආරම්භය ගැන නොවෙයි. ක්ලාක් කෙන්ට්, සුපර්මෑන් ලෙස වික්රම කරමින් වසර 3 ක් ගත වුණු තැන සිදුවන සිදුවීම් පෙළක් මෙම චිත්රපටයට පාදක වෙයි.
ඊට අමතරව, සුපිරි බලය ඇති, සුපිරි හැකියාව ඇති මෙටා හියුමන්ස් නමින් සුපිරි වීරයන් සහ දුෂ්ටයන් පිරි සමාජයක සුපර්මෑන් කැපී පෙනෙයි.

නේතන් ෆිලියොන් ගායි ගාඩ්නර් ලෙස චිත්රපටයට එක්වී සිටී. ගායි ගාඩ්නර් ග්රීන් ලැන්ටන්වරයකු වන අතර, ග්රීන් ලැන්ටන් රූපවාහිනී කතාමාලාවක් ද ලැන්ටර්න්ස් නමින් ජේම්ස් ගන්ගේ මැදිහත් වීමෙන් නිර්මාණය වෙමින් පවතී.

හෝක් ගර්ල් ලෙස චිත්රපටයට එක් වී සිටින්නේ ඉසබෙලා මර්සෙඩ්ය. ඊට අමතරව මිස්ටර් ට්රරිෆික් ද චිත්රපටයේ කැපී පෙනෙන වීරයෙකි. මිස්ටර් ට්රරිෆික් ලෙස චරිත නිරූපණය කරන්නේ එඩී ගැතේගීය.

ක්ලාක් කෙනෙට් සහ ලොයිස් ලේන්ගේ මිතුරා මෙන්ම, ඩේලි ප්ලැනට් පුවත්පතේ ඡායාරූප ශිල්පියා ද වන ජිමී ඕල්සන් ලෙස චරිත නිරුපණය කරන්නේ ස්කයිලර් ගිසැන්ඩෝය.
මේ වනවිට මිස්ටර් ට්රරිෆික් සහ ජිමී ඕල්සන් දෙදෙනා ඇතුළත් රූපවාහිනී කතාමාලාවක් කෙරෙහි උනන්දුවක් ඇතැයි ජේම්ස් ගන් පවසයි.

ඉදිරියේ දී විකාශය කිරීමට නියමිත ජෝන් සීනා ප්රධාන චරිතය නිරූපණය කරන ජේම්ස් ගන්ගේ පීස්මේකර් රූපවාහිනී කතා මාලාවේ දෙවැනි කතාමාලාව හරහා ගායි ගාඩ්නර්, හෝක් ගර්ල් සහ රික් ෆ්ලෑග් (සීනියර්) ගේ චරිතය දැක ගැනීමට හැකිවනු ඇත.
රික් ෆ්ලෑග් (සීනියර්) ලෙස චරිත නිරූපණය කරන්නේ, ෆ්රෑක් ග්රිලෝය.
නව සුපර්මෑන් චිත්රපටයේ කැපී පෙනෙන චරිතයක් වන්නේ ක්රිප්ටෝ බලු සුරතලාය. ක්රිප්ටෝ චිත්රපටයට එක් කර ඇත්තේ පරිගණකයෙන් නිරාමණය කළ බලු සුරතලකු ලෙසය. ක්රිප්ටෝ නිර්මාණයට යොදාගෙන ඇත්තේ ජේම්ස් ගන්ගේ බලු සුරතලා ඕසුය.

ක්රිප්ටෝ මේ වනවිට අතිශය ජනප්රියය. ඒ නිසාම, ඇමෙරිකාවේ බලු සුරතලුන් හදා වඩා ගැනීමේ ඉහළ ප්රවණතාවක් පෙන්නුම් කරන බව ද වාර්තා වේ.

සුපර්මෑන් චිත්රපටය අවසන් වන්නේ, කාරා හෙවත් සුපර්ගර්ල්ගේ චරිතය නරඹන්නන්ට හඳුන්වා දෙමිනි. ක්රිප්ටෝ සුපර්ගර්ල්ගේ බලු සුරතලා බව ද අනාවරණය වෙයි. සුපර්ගර්ල් ලෙස චරිත නිරූපණයට එක් වී සිටින්නේ මිලී ඇල්කොක්ය.

සුපර්ගර්ල්, ඇගේ ඥාති සොයුරා සුපර්මෑන් වැනි චරිතයක් නොවන බවත්, ඇගේ කතාව හරි අපූරු එකක් වනු ඇති බවත්, ඇගේ චිත්රපටය එළිදක්වන තුරු තමන් මහත් ආසාවෙන් සිටින බවත් ජේම්ස් ගන් පවසා ඇත.
ලුසිත ජයමාන්න

