අලුත් ඒලියන් චිත්‍රපටය: Alien: Romulus



අතිශය ජනප්‍රිය, ත්‍රාසය සහ භීතිය කැටි වුණු, හොලිවුඩ් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට මාලාවක් ලෙස ‘ඒලියන්’ Alien චිත්‍රපට හැඳින්විය හැකිය. ‘ඒලියන්’ මාලාවට එක්වන අලුත්ම චිත්‍රපටය ‘ඒලියන්: රොමියුලස්’ Alien: Romulus ය. ‘ඒලියන්: රොමියුලස්’ අගෝස්තු 16 වැනිදා සිට ලොව පුරා තිරගතවීම ආරම්භ කෙරුණි.  

20th Century Studios චිත්‍රාගාරය නිර්මාණය කළ ‘ඒලියන්’ Alien පළමු චිත්‍රපටය තිරගත වූයේ මීට අවුරුදු 45 කට පෙර, 1979 දීය. එය ලෝක සිනමාවේ කැපී පෙනෙන චිත්‍රපටයක් විය. සම්මාන රැසකින් ද පිදුම් ලැබුවේය. චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ප්‍රවීණ මෙන්ම සම්මානනීය අධ්‍යක්ෂවරයකු වන රිඩ්ලි ස්කොට්ය.

‘සීනෝමෝෆ්’ Xenomorph නමින් හැඳින්වෙන පිටසක්වළ ජීවීන් සහ එලන් රිප්ලි Ellen Ripley ගේ චරිතය  අපට හඳුන්වා දීම සිදුවූයේ පළමු ‘ඒලියන්’ Alien චිත්‍රපටයෙනි. නපුරු ‘සීනෝමෝෆ්’ Xenomorph පිටසක්වළයන්ගේ නිර්මාතෘවරුන් ලෙස සැලකෙන්නේ, ඩෑන් ඕ බැනොන් සහ රොනල්ඩ් ෂුසෙට් දෙදෙනාය.

80 දශකයේ, පිරිමි චරිත හොලිවුඩ චිත්‍රපටවල අධිපත්‍ය පතුරුවද්දී, ගැහැනු වීරයකු ලෙස එලන් රිප්ලි කරළියට පැමිණීම ද හොලිවුඩ් සිනමාවේ සන්ධිස්ථානයකි. එලන් රිප්ලිගේ චරිතයට පණ පෙවීම කළේ ජනප්‍රිය මෙන්ම සම්මානනීය නිළි සිගෝනි වීවර්ය.

‘ඒලියන්’ පළමු චිත්‍රපටයේ සාර්ථකත්වයත් සමඟ ‘ඒලියන්’ දෙවැනි චිත්‍රපටය, ‘ඒලියන්ස්’ Aliens ලෙස තිරගත වූයේ ‍1986 වසරේදීය. එදා මෙදා ‘ඒලියන්’ චිත්‍රපට සියල්ල අතරින්, හොලිවුඩ් සිනමාවේ අමරණීය සලකුණක් තැබුවේ මෙම ‘ඒලියන්ස්’ චිත්‍රපටයයි. මෙය විද්‍යා ප්‍රබන්ධ ක්‍රියාදාම චිත්‍රපටයකි.

සිගෝනි වීවර්ගේ එලන් රිප්ලි Ellen Ripley චරිතය වීරවරියක් කිරීමට මෙම ක්‍රියාදාමය සමත් විය. ‘ඒලියන්ස්’ Aliens අධ්‍යක්ෂණය කළේ සුපිරි අධ්‍යක්ෂවරයකු වන ජේම්ස් කැමරන් වීම ඊට හේතුවය. එලන් රිප්ලිගේ චරිතය සහ සීනෝමෝෆ් පිටසක්වළයන් මුල්කොට ගනිමින් 1992 වසරේ දී ‘ඒලියන් 3’ Alien 3 ද 1997 දී ‘ඒලියන් රෙසරෙක්ෂන්’ Alien Resurrection ද නිර්මාණය විය. මේ කිසිදු චිත්‍රපටයක්, බොක්ස් ඔෆිස් වාර්තා තැබූ කැමරන්ගේ ‘ඒලියන්ස්’ චිත්‍රපටයට සමාන කළ නොහැකිය.

ඉන්පසු ‘සීනෝමෝෆ්’ Xenomorph පිටසක්ළයන් රිදී තිරයෙන් දකින්න ලැබුණේ ‘ඒලියන් වර්සස් ප්‍රෙඩේටර්’ Alien vs. Predator චිත්‍රපට හරහාය. ‘ඒලියන් වර්සස් ප්‍රෙඩේටර්’ Alien vs. Predator චිත්‍රපට දෙකකි.

‘සීනෝමෝෆ්’ Xenomorph පිටසක්වළයන්නේ උපත සිදුවුණු අයුරු දැක්වෙන චිත්‍රපට දෙකක් කරළියට පැමිණියේ 2012 සහ 2017 වසරවලදීය. ඒවා, ප්‍රෙමිතියස් Prometheus (2012) සහ ‘ඒලියන්’ කොවනන්ට් Alien: Covenant (2017) ය. මෙම චිත්‍රපට දෙක අධ්‍යක්ෂණය කිරීමට රිඩ්ලි ස්කොට් යළි එක් විය. ඊට අමතරව,

‘සීනෝමෝෆ්’ Xenomorph චරිතය පාදක කර ගත් චිත්‍රකතා, කෙටි චිත්‍රපට, වීඩියෝ ක්‍රීඩා, නවකතා ආදිය බොහොමය.

‘ඒලියන්’ චිත්‍රපට මාලාවට එක් වන නවතම චිත්‍රපටය වන ‘ඒලියන්: රොමියුලස්’ Alien: Romulus (2024) යළිත් වරක් අපව මුල් ‘ඒලියන්’ චිත්‍රපට අතරට රැගෙන යෑම විශේෂත්වයකි. ‘ඒලියන්: රොමියුලස්’ Alien: Romulus චිත්‍රපටයට පාදක වන්නේ 1979 පළමු ඒලියන් චිත්‍රපටයේ සිදුවන සිදුවීම් පෙළින් පසු සිදුවන සිදුවීම් පෙළකි.

සම්මානනීය ජනප්‍රිය නළු ඉයන් හෝම්, පළමු ඒලියන් චිත්‍රපටයේ මිනිස් රොබෝවකු වන ඈෂ්ගේ චරිතයට පණ දෙයි. ‘ඒලියන්: රොමියුලස්’ Alien: Romulus චිත්‍රපටයේ ද ඈෂ්ගේ පෙනුමට සමාන මිනිස් රොබෝවකු දකින්න ලැබේ.

ඊට අමතරව, රොමියුලස්’ Alien: Romulus චිත්‍රපටය හරහා ප්‍රෙමිතියස් Prometheus (2012) චිත්‍රපටයේ සිදුවීම් ගැන ද සිහිපත් කෙරේ. ‘ඒලියන්: රොමියුලස්’ Alien: Romulus චිත්‍රපටයේ ඈෂ් සහ විද්‍යාඥයන් එක් වී, සුපිරි මිනිසුන් බිහි කිරීමට යොදා ගන්නා වයිරසය ප්‍රොමිතියස් යැයි කියයි. ප්‍රෙමිතියස් Prometheus (2012) චිත්‍රපටයට ‘ඒලියන්: රොමියුලස්’ චිත්‍රපටයේ කතාව හා සම්බන්ධ කෙරෙන්නේ ඒ අනුවය.

‘ඒලියන්: රොමියුලස්’ Alien: Romulus චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වන්නේ නවක අධ්‍යක්ෂවරයකු වන ෆේඩේ අල්වාරේස්ය. 2013 වසරේ ‘ඊවිල් ඩෙඩ්’, 2016 වසරේ ‘ඩෝන්ට් බ්‍රීත්’ යන චිත්‍රපටවල අධ්‍යක්ෂවරයා වන්නේ මොහුය. රිඩ්ලි ස්කොට්, චිත්‍රපටයේ නිෂ්පාදකවරයාය.

ජනප්‍රිය තරුණ නළු නිළියෝ කැළක් ‘ඒලියන්: රොමියුලස්’ චිත්‍රපටයට එක් වී සිටිති. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රේන් ය. රේන්ගේ චරිතය නිරූපණය කරන්නේ කෙයිලී ස්පෙනීය. රේන්ගේ චරිතය හරහා අපට යළිත් වරක් එලන් රිප්ලි සිහිවෙයි. සෙසු චරිත අතර, ඩෙවිඩ් ජොන්සන්, ආචී රෙනෝ, ඉසබෙල්ලා මර්සිඩ්, ඇලීන් වූ සහ ස්පයික් ෆර්න් සිටිති.

ලුසිත ජයමාන්න

 


RECOMMEND POSTS