අරගලයේ නායකයා ගුරුංග්



සුදන් ගුරුංග් - ‘මා මැතිවරණයට ඉදිරිපත් වෙනවා. නේපාල ජනතාව මා පිළිගන්නේ නම්, අග්‍රාමාත්‍ය ධුරය බාර ගැනීමට පවා මා පසුබට වෙන්නේ නැහැ. දුෂණයෙන් තොර අලුත් දේශපාලන ගමනකට මා සූදානම්’

නේපාලයේ ජෙන්සී Gen Z තරුණ අරගලකරුවන්ට, එරට රජය පෙරළා දැමීමට පැය විසිහතරක්වත් ගතවූයේ නැත. විරෝධතා සඳහා නායකත්වය දුන්නේ 36 හැවිරිදි සුදන් ගුරුංග්ය. මොහු නේපාලයේ ක්‍රියාත්මක හමී නේපාල් (අපි නේපාල් වැසියෝ) නමැති රාජ්‍ය නොවන සංවිධානයේ ප්‍රධානියෙකි. කලක් ඩී.ජේ. ක්‍රියාකාරියකු ලෙස ගුරුංග් තරුණ තරුණියන්ට විනෝදාස්වාදය සපයා ඇත. තරුණ ප්‍රජාව අතරේ නමක් දිනා ගත් ගුරුංග් ඉතා ඉක්මනින්, ජනප්‍රිය විය. අද ඔහු නේපාලයේ කැපී පෙනෙන තැනැත්තෙකි. 

සුදන් ගුරුංග් සහ ඔහුගේ කණ්ඩායම නායකත්වය දුන් ජෙන්සී Gen Z විරෝධතා නේපාලය කැලඹුවේ, සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් නේපාල රජය පැනවූ තහංචි මුල්කොට ගනිමිනි. විරෝධතා ආරම්භ වූයේ සාමකාමීවය. රජය විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය යෙදවිණි. පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරන්න විය. රබර් උණ්ඩ යොදා ගෙන වෙඩි තබන්න විය. සාමකාමී විරෝධතා ප්‍රචණ්ඩ විය. තරුණ විරෝධතා උත්සන්න වී, එම විරෝධතාවලට එක් වුණු තරුණයන් (පාසල් දරුවන් ද ඇතුළුව) පොලිස් ප්‍රහාරවලින් මියයද්දී, රජය උත්සාහ ගත්තේ සමාජ මාධ්‍ය තහනම අවලංගු කරමින්, විරෝධතා සමනය කිරීමටය. ඒත් එය ප්‍රමාද වැඩි විය. ඒ වනවිට එම තරුණ විරෝධතා දූෂණ විරෝධී රැල්ලක් බවට පරිවර්තනය වී තිබුණි. විරෝධතා හේතුවෙන් මියගිය ගණන 70 කට වැඩිය. 

නේපාල අග්‍රාමාත්‍ය කේපී ෂර්මා ඕලී විරෝධය හමුවේ රටින් පලා ගියේ ධුරයෙන් ද ඉවත් වෙමිනි. ඔහු ගියේ කොහේදැයි අදටත් රහසකි. ඔහුට රටින් පලා යෑමට සහාය දුන්නේ නේපාල හමුදාවය. ඇමැතිවරුන් සහ ඔවුන්ගේ පවුලේ අය විරෝධතාකරුවන්ගෙන් බේරී පලා ගියේ හමුදාවේ සහාය ඇතිව හමුදා හෙලිකොප්ටර්වල එල්ලී ගෙනය. විරෝධතාකරුවන්ගේ ග්‍රහණයට හසුවුණු අමාත්‍යවරුන්ට කිසිදු සමාවක් ලැබුණේ නැත. ඔවුන්ගේ නිවාස ගිනි තැබුණි. 

විරෝධතා තව තවත් උත්සන්න වෙද්දී පසුගිය සැප්තැම්බර් 10 වැනිදා නේපාල හමුදාව රටේ පාලනය අතට ගත්තේ ඇඳිරි නීතිය ද පනවමිනි. ජෙන්සී Gen Z විරෝධතාකරුවන්, නව අග්‍රාමාත්‍යවරිය ලෙස  තෝරා ගත්තේ සුෂිලා කාර්කිය. මැය නේපාලයේ පළමු කාන්තා අගවිනිසුරුවරියයි. දූෂණයට එරෙහි තැනැත්තියක ලෙස මැය ප්‍රකටය. හමුදාවේ මනාපය ද සුෂිලා කාර්කිට හිමිවිය. ඒ අනුව, නේපාලයට අන්තර්වාර අග්‍රාමාත්‍යවරියක ලැබුණි. නේපාලය 2026 මාර්තු 5 වැනිදා මහ මැතිවරණයකට යන බව නිවේදනය කළේය. 

නේපාලයේ අනාගතය කුමක් වේවිද? විරෝධතා නිසා කඩා වැටුණු රට යළි ගොඩ නගන්නේ කෙසේද? කවුරුන්ද? මිලියන ගණනක් නේපාල වැසියෝ සුදාන් ගුරුංග්ගෙන් මේවාට පිළිතුරු බලාපොරොත්තු වෙති. 

සුදන් ගුරුංග් - මම මේ ඇඳගෙන ඉන්න කබායේ තියෙනවා ලේ පැල්ලම්. ආණ්ඩුව අප මර්දනය කරද්දී, පොලිස් ප්‍රහාරවලින් දිවි අහිමි වුණු පාසල් දරුවන්ගේ ලේ පැල්ලම් තමයි මේ ජැකට්ටුවේ තියෙන්නේ. මේවා මගේ නංගිලා මල්ලිලාගේ ලේ. මම මේක හෝදන්නේ නැහැ. මම මේක හෝදන්නේ මියගිය ඒ දරුවන් වෙනුවෙන් යුක්තිය ඉටු වුණු දවසටයි. අපේ රට වෙනස් වෙලා යැයි මා විශ්වාස කරන දවසටයි. මම ස්වාධීන අපේක්ෂකයකු විතරක් විදියට තරඟ කළොත්, අපිට මේ තරුණ බලය ලැබෙන්නේ නැහැ. ඒත් එකමුතු වුණොත් අපේ ශක්තිය සහ බලය වැඩියි.

සුදන් ගුරුංග් අල් ජසීරා පුවත් නාළිකාවේ ‘ස්ටාට් හියර්’ දේශපාලන වැඩසටහනට සම්බන්ධ කර ගැනීමට එම වැඩසටහන මෙහෙයවන මාධ්‍යවේදිනී සැන්ඩ්‍රා ගැත්මන්ට හැකිවිය. එය මුහුණට මුහුණ හමුවක් නොවිණි. වීඩියෝ තාක්ෂණය ඔස්සේ කළ කතාබහකි. ලබන වසරේ පැවැත්වෙන මහ මැතිවරණයට තමන් ඉදිරිපත් වී තරග වඳින්නේ ස්වාධීන අපේක්ෂකයකු ලෙස නොව, අරගලකරුවන් සියලු දෙනා නියෝජනය කරමින් බව සුදන් ගුරුංග් එම සම්මුඛ සාකච්ඡාවේදී පැවැසුවේය. තම අරමුණ ජනතා රජයක් පිහිටුවීම බවත්, ඒ සඳහා දිගටම සටන් කිරීමට තමන් සූදානම් බවත් ගුරුංග් පැහැදිලි කළේය.

සැන්ඩ්‍රා ගැත්මාන් - අභියෝග පිරුණු සති කීපයක් ඔබ පසු කළා. ඉතිං ඔබට කොහෙමද?
සුදන් ගුරුංග් - මම හොදින්. මම තවමත් උත්සාහ ගන්නවා මාව සොයන්න‍.
සැන්ඩ්‍රා ගැත්මාන් - තේරුම?
සුදන් ගුරුංග් - ඇත්තම කියනවා නම්, හදවත කම්පා කරන බොහෝ දේ සිද්ධ වුණා. ලේ වැගිරීම් සිද්ධ වුණා. මම කැමතියි මගේ රට සමෘද්ධිමත් වෙනවා දකින්න. සියලු දේ ගිනි තියලා විනාශ වෙනවා දකින්න මගේ කැමැත්තක් නැහැ. මම අරගලයට නායකත්ව දුන්නා. මම තනිවම නොවෙයි. මම හෝ මගේ සගයන් හෝ දේශපාලනයට එන්න හිතාගෙන හිටියේ නැහැ. අප බලෙන් දේශපාලනය ගෙන්වා ගැනීමක් තමයි සිද්ධ වුණේ. අපව මෙතැනට ගෙනාවේ
ආත්මාර්ථකාමී, දූෂිත දේශපාලනඥයන්.

නේපාල රජය, සමාජ මාධ්‍ය තහනම් කිරීමට තීරණය කළේ සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් රජය විවේචනයට ලක් වුණු බැවිනි. රජය උත්සාහ කළේ නියාමනයක් ඇති කිරීමටය. ෆේස්බුක්, එක්ස්, යූ ටියුබ් ඇතුළු සමාජ මාධ්‍ය වේදිකා අවහිර කරමින්, ඒ සඳහා නියාමනයක් ඇති කිරීමටය.‍ එය අසාර්ථක විය. අවසානයේ විරෝධතා සඳහා තරුණ අරගලකරුවන් එකමුතු වූයේ ද සමාජ මාධ්‍ය හරහාය. අද ඔවුන් ‘ඩිස්කෝඩ්’ සමාජ මාධ්‍ය වේදිකාව හරහා 
ස්වේච්ඡා සේවකයන් නීතිමය සහ සන්නිවේදන කමිටු පිහිටුවා, රට පුරා ප්‍රතිපත්ති ඉල්ලීම් රැස් කරමින් සිටින බවත්, නව දේශපාලන ගමනකට සූදානම් වන බවත් සුදන් ගුරුංග් සම්මුඛ සාකච්ඡාවේදී පැහැදිලි කළේය.

සැන්ඩ්‍රා ගැත්මාන් - ඔබ තරුණ අරගලකරුවන් නියෝජනය කරමින්, අන්තර්වාර අග්‍රාමාත්‍ය කර්කි සමඟ නිරන්තරයෙන් සම්බන්ධ වී ක්‍රියා කරනවා. හමුදා නිලධාරීන් සමඟ ඔබ සම්බන්ධ වී කටයුතු කරනවා. සිදුවන සාකච්ඡා කොහොමද?
සුදන් ගුරුංග් - මාගේ කරපිට පැටවී තියෙන්නේ ලොකු වගකීමක්. ඒක තරුණ අරගලකරුවන් පමණක් නොව, මුළු රටම මා පිට පැටවූ වගකීමක්. ඉදිරියට මම කරන සියලු දේම, කියන සියලු දේම, දහ සැරයක් හිතලා තමයි කරන්න, කියන්න වෙන්නේ. මගේ අතින් වරදක් අඩුපාඩුවක් උණොත් තව කෙනකුට එයින් වන්දි ගෙවන්න වේවි. ඒකට ඉඩ තියන්නේ නැහැ. සියල්ල හොඳයි කියන්නත් නරකයි කියන්නත් බැහැ. සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා පැවැත්වෙනවා. අපි අලුතින් රටක් ගොඩනගන පළමු අවස්ථාව මෙයයි. අපට අත්දැකීම් නැහැ. අපට ඇත්තේ අපේ රට ගැන කැක්කුමක් සහ ආදරයක්. අලුත් දේවල් ඉගෙන ගනිමින් අප අලුත් ගමනක් යන්න පටන්ගෙන තිබෙනවා. පසුගිය රජයෙන් සිදුවුණු අසාධාරණකම් තියෙනවා. අසාධාරණයට ලක්වූවන් වෙනුවෙන් යුක්තිය ඉටු වීමක් සිදු වෙන්න ඕනෑ. පාසල් නිල ඇඳුමින් ඝාතනය වුණු මල්ලිලා නංගිලා වෙනුවෙන් යුක්තිය ඉෂ්ට වෙන්න ඕනෑ. 

ගුරුංග් සහ ඔහුගේ තරුණ කණ්ඩායම දුෂණ විරෝධය ඉක්මවා පුළුල් න්‍යාය පත්‍රයක් යටතේ තරඟ කිරීමට ප්‍රතිඥා දී අවසන්ය. ඔවුන් සැලසුම් කරන්නේ නේපාලයේ සංචාරක ක්ෂේත්‍රය නංවාලීමටත්, “බාහිර මැදිහත්වීම්වලින් තොරව” අසල්වැසි ඉන්දියාව සහ චීනය සමඟ සබඳතා ශක්තිමත් කිරීමටත්ය. “අප ඉන්දියාවට මෙන්ම චීනයටද ගරු කළ යුතුයි, ඒ වගේමයි ඉන්දියාව සහ චීනය ද පෙරළා අපට ගරු කළ යුතුයි,” ගුරුංග් සම්මුඛ සාකච්ඡාවේදී පෙන්වා දුන්නේය. 

සැන්ඩ්‍රා ගැත්මාන් - ස්ථාපිත කළ අන්තර්වාර රජයෙන් ඔබ කරන ඉල්ලීම් මොනවාද?
සුදන් ගුරුංග් - ඉල්ලීම් නම් බොහොමයි. අප විවිධ කණ්ඩායම්වලින් විවිධ පාර්ශ්වකරුවන්ගෙන් අදහස් ලබා ගන්නවා. ජනතාවගේ ඉල්ලීම් තමයි අප ඉදිරිපත් කරන්නේ. නව රජය ජනතාව විසින් ජනතාව වෙනුවෙන් පිහිටුවන රජයක් විය යුතුයි. ජනතාව පීඩාවට පත් කළ යුතු වන්නේ නැහැ. අසාධාරණයට ලක්වුණු සියලු දෙනා වෙනුවෙන් අප පෙනී සිටිනවා. දැනට අප සියලු දෙනා සම්බන්ධ වී සිටින්නේ සමාජ මාධ්‍ය හරහායි. නේපාලය පුරා විරෝධතාවලට එක් වුණු තරුණ නායකයන් සමඟ අප සම්බන්ධ වෙලා තියෙනවා. 

පෙරළා දැමූ රජයට සම්බන්ධ කිසිවකු එලැඹෙන මහ මැතිවරණයට තරග කරනු දැකීමට තමන් අකමැති යැයි ද ගුරුංග් පැවැසීය. පෙරළා දැමුණු රජයේ අග්‍රාමාත්‍යවරයා ඇතුළු ඉහළ ඇමැතිවරුන්ගේ දූෂණ වංචා සම්බන්ධයෙන් විමර්ශන කඩිනමින් පවත්වන්නැයි තමන් අන්තර්වාර අග්‍රාමාත්‍යවරියගෙන් ඉල්ලා සිටින බව ද ගුරුංග් පැවැසීය.

සැන්ඩ්‍රා ගැත්මාන් - ජනතාව කැමති නම් ඔබ අග්‍රාමාත්‍ය ධුරය බාර ගන්න ඇත්තටම කැමතිද?
සුදන් ගුරුංග් - ඒ සඳහා සුදුසු පුද්ගලයා මා යැයි මා කිසිම අවස්ථාවක කියන්නේ නැහැ. ඒක ජනතාවගේ තීරණයක්. අරගලය ආරම්භයේදී බොහෝ දෙනකු මා නිහඬ කිරීමට උත්සාහ ගත්තා. මා බිය ගැන්වීමට උත්සාහ ගත්තා. ඒත් මම බය වුණේ නැහැ. බය වෙන්නෙත් නැහැ. මම බය නැහැ. 

අල් ජසීරා ඇසුරිනි


RECOMMEND POSTS