අමීර් ඛාන්ගේ ලක්ෂ 80ක ස්වර්ණාභරණ අතුරුදන්වෙලා
සුපිරි නළු අමීර් ඛාන්, බිරිය වන කිරන් රාඕ සහ පුංචි පුතු අසාද් සමඟ පදිංචිව සිටින්නේ මුම්බායි නුවර බන්ද්‍රා ප්‍රදේශයේ නිවසකයි.එහි නිදන කාමරයේ අල්මාරිය විවෘත කර තමන් සතු රන් ආභරණයක් පැලඳීමට යද්දී කිරන්ට වටිනා දියමන්ති මුදුවක් සහ මාලයක් අතුරුදන් වී ඇති බව වැටහුණා.
මේ ආභරණවල මිල ඉන්දීය රුපියල් ලක්ෂ 80ක් පමණ වන බවයි අමීර් ඛාන් ගේ බිරිය වන කිරන් කියා ඇත්තේ. අල්මාරිය තුළ සුරක්ෂිතව තැන්පත් කළ මේ රන් ආභරණ අතුරුදන් වීම කිරන්ටත් අමීර්ටත් හිතා ගන්න බැරි වෙන කොට මෙය කිසියම් අයකු විසින් සොරකම් කරන්නට ඇති බව සැක කර මේ රන් ආභරණ අස්ථානගත වීම පිළිබඳව කිරන්ගේ පියා පොලීසියට පැමිණිලි කර ඇත.
ඔහු කරන ලද පැමිණිල්ලට අනුව ක්‍රියාත්මක වූ පොලීසිය, වහාම අමීර්ගේ නිවස සෝදිසි කර, ඉන් පසුව යොමු වුණේ එහි සේවයෙහි යෙදී සිටින මෙහෙකරුවන් තිදෙනා වෙතටයි. දින පහක් තිස්සේ ඔවුන්ගෙන් දිගින් දිගටම මේ ගැන ප්‍රශ්න කළත් සැක කටයුතු කිසිවක් ඔවුන් වෙතින් ලබා ගැනීමට ඉන්දීය පොලීසියට නොහැකි වී ඇත.
අමීර්ගේ නිවසේ සේවය කරන කාන්තාවන් තිදෙනාගෙන් එක් අයකු ආහාර පිසීමේ කටයුතුවල නියැළී සිටින ඇගේ සහායට තවත් කාන්තාවක්ද ,ගෙදර දොරේ සෙසු කටයුතු සඳහා තවත් කාන්තාවක්ද සිටින්නීය.පොලීසිය මේ තිදෙනාගේ නිවෙස් ද පරීක්ෂා කර තිබෙනවා. ඔවුන්ගේ ඥාතින්ගෙන් ද මේ සිද්ධිය පිළිබඳව ප්‍රශ්න කර ඇතැයි ද බොලිවුඩයෙන් ලැබුණු ආරංචි පවසනවා.
( තිළිණි ද සිල්වා )
ෆිල්ම් ෆෙයාර් ඇසුරෙනි....