වයස්ගතම දොස්තර රෝගීන්ගේ පිහිටට



ප්‍රංශයේ වයස්ගතම වෛද්‍යවරයා ලෙස ප්‍රකට 98 හැවිරිදි ක්‍රිස්තියන් චෙනී, ‘කොවිඞ් 19’ අවදානම නොතකා පැරිස් අගනුවර රෝගීන්ට ප්‍රතිකාර ලබා දෙන බව ප්‍රංශ පුවත් සේවා වාර්තා කරයි. ක්‍රිස්තියන් චෙනී, නිහතමානී, කරුණාවන්ත පවුලේ වෛද්‍යවරයකු ලෙස පැරිස් අගනුවර ප්‍රසිද්ධය. ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වසංගතය හේතුවෙන් මේ වනවිට ප්‍රංශය ලොක්ඩවුන් කර ඇත.

පැරිස් අගනුවර සියලු රෝහල් ‘කොවිඞ් 19’ ආසාදිතයන්ගෙන් පරී පවතින අතර, වෛද්‍යවරුන්ගේ හිඟයක් ද පවතී. පැරිස් අගනුවර වැඩිහිටි නිවාස බොහොමයක් ඇති අතර, වෛද්‍ය ක්‍රිස්තියන් චෙනී,ගේ සේවය එම වැඩිහිටි නිවාසවලට හිමිවන බව පැවැසෙයි.

ප්‍රංශය පසුගිය මැයි 11 වැනිදා සිට ලොක්ඩවුන් කිරීමට ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ප්‍රමුඛ රජය පියවර ගෙන ඇත. ඒ, වයිරස ව්‍යාප්තිය අවම කිරීම සඳහාය. මේ වනවිට ප්‍රංශයෙන් වර්තා වන ‘කොවිඞ් 19’ මරණ සංඛ්‍යාව 23,600 කි. ආසාදිතයන් සංඛ්‍යාව 1,29,859 කි.

ඉතාලිය, ස්පාඤ්ඤය සහ එක්සත් රාජධානියට පසු යුරෝපා රටවල් අතරින් වයිරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති රට ප්‍රංශයයි. ‘කොවිඞ් 19’ අවදානමක් පැවැතියත් ඉතාලිය සහ ස්පාඤ්ඤය එරට පනවා ඇති ලොක්ඩවුන් තහංචි ලිහිල් කිරීමට සූදානම් වෙයි. ප්‍රංශ ජනාධිපති මැක්රොන් පවසා ඇත්තේ ප්‍රංශය ද එසේ ලොක්ඩවුන් තහංචි ලිහිල් කිරීමට සූදානම් වන බවය.

එසේ තහංචි ලිහිල් කිරීමෙන් පසු ප්‍රංශ වැසියන් වීදි බසින්නේ නම්, මුහුණු ආවරණ පැලඳිය යුතු බවත්, සමාජ දුරස්ථභාවය ආරක්ෂා කළ යුතු බවත් ප්‍රංශ සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දී ඇත. පළමුවෙන් ආරම්භ වනු ඇත්තේ අත්‍යාවශ්‍ය සේවා බවත් ඉන්පසු වෙළෙඳසැල්, කාර්යාල සහ පාසල් ක්‍රමයෙන් විවෘත කරන බවත් ප්‍රංශ ජනාධිපති මැක්රොන් පැහැදිලි කර තිබේ.

පැරිසියේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS