ප්‍රංශ ජනපති ‘මේකප්’වලට 30,000 ක් වියදම් කරලා
ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, ගතවුණු මාස 3 ඇතුළත ‘මේකප්’ සඳහා යුරෝ 26,000 (ඇමෙරිකන් ඩොලර් 30,000) ක මුදලක් වැය කර ඇතැයි වාර්තා වේ.
39 හැවිරිදි වියෙහි පසුවන මැක්රොන් ප්‍රංශ ජනපති ධුරයට පත් ලාබාලතම තැනැත්තා ද වෙයි. ඔහු ජනපති ධුරයට පත් වූයේ පසුගිය මැයි මාසයේය.
‘ලෙ පොයින්ත්’ නමැති ප්‍රංශ සඟරාව පෙන්වා දෙන අන්දමට, ජනපති මැක්රොන් දිනකට ඇමෙරිකන් ඩොලර් 330 ක් ‘මේකප්’ සඳහා වියදම් කරයි. ප්‍රංශ ජනාධිපතිගේ ‘මේකප්’ සඳහා වැය වන්නේ මහජන මුදල් යැයි ද ‘ලෙ පොයින්ත්’ සඟරාව මතක් කර දෙයි.
ප්‍රංශ ජනපති මන්දිරය වන්නේ ඉලීසේ මාලිගයයි. ඉලීසේ මාලිගය, පසුගිය මාස තුනක කාලයේ අවස්ථා දෙකකදී, ‘නටාෂ’ නමැති සුප්‍රසිද්ධ ප්‍රංශ රූපලාවන්‍ය ශිලිපිණියට යුරෝ 10,000 සහ 16,000 බැගින් ද ගෙවීම් කර ඇත. ඒ, ජනපති මැක්රොන්ගේ හැඩවැඩ සඳහා යැයි ද පැවැසෙයි.
මැක්රොන්ට පෙර ජනපති ධුරයේ සිටි සමාජවාදී ජනාධිපති ෆ්රන්සුවා ඕලන්ද්ට ද මෙවැනිම චෝදනා එල්ල විය. ඕලන්ද් කොණ්ඩය කැපීමට මාසයකට වැය කළ මුදල ඇමෙරිකන් ඩොලර් 11,000 ක් යැයි ද පැවැසිණි.
(රොයිටර්/ඒ.එෆ්.පී.)