ට්‍රම්ප්ට බිරිඳ මෙලානියා අහිමි වන ලකුණු



ඩොනල්ඩ් ට්‍රම්ප්ට, ජනාධිපති ධුරය පමණක් නොව‍, බිරිඳ මෙලානියා ද අහිමිවීමේ අවදානමක් ඇතැයි බ්‍රිතාන්‍යයේ ඩේලිමේල් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

දිගු කාලයක් මෙලානියාගේ සමීපතම සහයිකාව ලෙස කටයුතු කළ ස්ටෙෆනී වොල්කෝෆ් කළ හෙළිදරව්වක් අනුව, ඩේලිමේල් වෙබ් අඩවිය මේ බව අනාවරණය කර තිබේ.

මෙලානියා, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තෙවැනි බිරිඳය. ට්‍රම්ප් සහ මෙලානියාට 14 හැවිරිදි පුතකු ද සිටී. ඔහු බැරන්ය. ට්‍රම්ප්ට අවුරුදු 74 ක් වන අතර, මෙලානියාට අවුරුදු 50 කි. මෙලානියා සහ ට්‍රම්ප්ගේ වයස් පරතරය අවුරුදු 24 කි.

මෙලානියා ස්ලොවේනියානු ඇමෙරිකානු ව්‍යාපාරික කාන්තාවක සහ නිරූපිකාවකි. කෝටිපති ව්‍යපාරිකයකු වන ට්‍රම්ප් යටතේ නිරූපිකාවන්ගේ ඒජන්සියක් පවතින අතර, 1996 දී එම ඒජන්සියට සම්බන්ධ වූ සුරූපිනියක වූයේ මෙලානියාය.

මෙලානියාට ඇමෙරිකාවේ ස්ථිර පුරවැසිභාය හිමිවූයේ 2001 දීය. ඒ, ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ විවාහ වීමෙනි. පුතු බැරන් උපත ලැබුවේ 2006 දීය. 2016 වසරේ දී ට්‍රම්ප් පළමු වරට ඇමෙරිකාවේ ජනාධිපති ධුරය වෙනුවෙන් තරඟ කරද්දී පවා මෙලානියා සහ ට්‍රම්ප්ගේ විවාහය දෙදරා යෑම ආරම්භ වී තිබුණු බව වොල්කෝෆ් පවසා තිබේ.

2016 වසරේ දී ජනාධිපතිවරණයෙන්, ට්‍රම්ප් පරාජය වනු ඇතැයි මෙලානියාගේ අදහස වී තිබේ. එම පරාජයත් සමඟ මෙලානියා ට්‍රම්ප්ගෙන් දික්කසාදවීමට සැලසුම් කර තිබේ. කෙසේ නමුත් කවුරුත් පුදුමයට පත් කරමින්, ට්‍රම්ප් 2016 ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේය. ඒ අනුව, මෙලානියා ජනාධිපති ආර්යාව වූ අතර, ඇය දික්කසාදවීම අමතක කර දැමුවාය.

ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත් මුල් මාස කීපයේ මෙලානියා, පුතු බැරන් සමඟ ධවල මන්දිරයේ පදිංචියට පවා නොපැමිණ ඇත්තේ ඇය සහ ට්‍රම්ප් අතර මත ගැටුම් නිසා බව ස්ටෙෆනී වොල්කෝෆ් පවසා ඇත.

මෙවර ජනාධිපතිවරණය පරාජයට පත්වීමත් සමඟ, ට්‍රම්ප්ගෙන් දික්කසාදවීමට මෙලානියා සූදානම් වන බවත්, ඇය සහ පුතු බැරන් ඔවුන්ට ලැබීමට නියමිත වන්දි ලබා ගැනීමට සූදානම් බවත් මෙලානියා ඇගේ නීතීවරුන් සමඟ සාකච්ඡා කර උපදෙස් බලා ගන්නා බවත් ඩේලිමේල් වෙබ් අඩවිය පෙන්වා දී තිබේ.

(ඩේලිමේල්)


RECOMMEND POSTS