කිම් ජොන් උන් යහතින් ඉන්නවා



හදවත් සැත්කමකින් පසු මොළය මියගොස් ගිලන් වුණැයි පැවැසුණු උතුරු කොරියා නායක කිම් ජොන් උන් යහතින් සිටින බව තහවුරු කරමින්, උතුරු කොරියානු රජය ඔහුගේ ඡායාරූප සහ වීඩියෝ දසුන් පෙළක් මාධ්‍ය වෙත නිකුත් කළේය.

උතුරු කොරියා නායක 36 හැවිරිදි කිම් ජොන් උන් හදවත් සැත්කමකට ලක් වූයේ පසුගිය අප්‍රේල් 12 වැනිදාය. ඒ බව උතුරු කොරියාව තහවුරු කළේය. ඉන්පසු නායක කිම් ජොන් උන් මාධ්‍ය හමුවේ පෙනී සිටිනේ නැත.

බටහිර ගැති මාධ්‍ය වාර්තා කරන්න වූයේ නායක කිම් ජොන් උන් මියගිය බවය. ‘ද සන්’ පුවත් වෙබ් අඩවිය නායක කිම් ජොන් උන්ගේ අවමංගල උත්සවයේ ඡායාරූප පවා පළ කළේය.

කෙසේ නමුත් ඇමෙරිකන් ජනාධිපති ඩොනලඞ් ට්‍රම්ප් පමණක් නොව, උතුරු කොරියාවේ අසල්වැසියා වන දකුණු කොරියාව ද කියා සිටියේ හදවත් සැත්කමින් පසු උතුරු කොරියා නායකයාගේ තත්ත්වය යහපත් බවය.

ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් සහ දකුණු කොරියානු රජය එසේ කියද්දී පවා ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කළේ නායක කිම් ජොන් උන් කොරෝනා වයිරසයෙන් බේරීමට සැඟවී සිටින බවය.

උතුරු කොරියා සෞඛ්‍ය බලධාරීන්ට අනුව, එරටින් තවමත් කිසිදු ‘කොවිඞ් 19’ කොරෝනා වයිරස රෝගියකු හමුවී නැත. මේ බව ලෝක සෞඛ්‍ය සංවිධානය ද තහවුරු කර තිබේ.

දින 20 කට පසු නායක කිම් ජොන් උන්, මැයි පළමු වැනිදා ප්‍රසිද්ධියේ පෙනී සිටියේ රසායනික පොහොර කම්හල් සංකීර්ණයක් විවෘත කිරීමේ රාජ්‍ය උත්සවයට සහභාගී වෙමිනි.

නායක කිම් ජොන් උන් කම්හල් සංකිර්ණය විවෘත කරමින් රතු පීත්ත පටිය කපද්දී, රැස්ව සිටි පිරිස ඔල්වරසන් දෙන අයුරු වීඩියෝ දසුන් හරහා දකින්න ලැබුණි. කිම් ජොන් උන් මෙම උත්සවයට සහභාගී වූයේ නැගණිය කිම් ජොන් යොංග් සමඟය.

කිම් ජොන්ගේ අභාවයෙන් පසු මීළඟ උතුරු කොරියාවේ නායිකාව වනු ඇතැයි පැවැසෙන්නේ නැගණිය කිම් ජොන් යොංග් ය. නායක කිම් ජොන් උන් සිය බලතල රැසක් ඇයට පවරා දීමට කටයුතු කර තිබේ. මේ වනවිට කිම් ජොන් උන්ගේ උපදේශිකාව ලෙස කටයුතු කරන්නේ ද කිම් ජොන් යොංග් ය.

උතුරු කොරියාව පිහිටුවීමෙහිලා පුරෝගාමී නායකයා ලෙස සැලකෙන්නේ කිම් ජොන් උන්ගේ සීයා කිම් ඉල් සන් ය. කිම් ඉල් සන්ගේ ඡන්ම දිනය යෙදී ඇත්තේ අප්‍රේල් 15 වැනිදාටය. එය උතුරු කොරියාවේ ප්‍රධාන රාජ්‍ය උත්සවයයි.

පසුගිය 15 වැනිදා නායක කිම් ජොන් උන් හෝ නැගණිය කිම් ජොන් යොංග් හෝ ඊට සහභාගී වී සිටියේ නැත. මෙය බොහෝ දෙනාට ගැටලුවක් විය. උතුරු කොරියා රජය කිම් ජොන් උන්ගේ හදවත් සැත්කම පිළිබඳ අනාවරණය කළේ එම අවස්ථාවේදීය.

සෝල්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS