හමාස් සංවිධානයේ නව ප්‍රධානියා කලීල් අල්-හයියා

පලස්තීන හමාස් සංවිධානයේ නව නායකයා ලෙස කලීල් අල්-හයියා තෝරාගත් බව, පලස්තීන හමාස් සංවිධානය නිල ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත.
පසුගිය 2024 ඔක්තෝබර් මාසයේ ගාසා තීරයේදී ඊශ්‍රායල හමුදා ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වූ නායක යහියා සින්වාර් වෙනුවට හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨයන් විසින් කලීල් අල්-හයියා නව නායකයා ලෙස කලීල් අල්-හයියා තෝරාගත් බව වාර්තා වේ.
කලීල් අල්-හයියා දේශපාලනික වශයෙන් මෙන්ම රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ද කැපී පෙනෙන මෙහෙවරක් කළ අයෙකි. ඔහු විදේශගතව සිටිමින්, ගාසා තීරයේ හමාස් මෙහෙයුම්වලට සම්බන්ධ වූ අයෙකි. හයියා, දැඩි මතධාරී කල්ලිය නියෝජනය කරන නායකයකු ලෙස ද සැලකෙයි.
ඊශ්‍රායල හමුදා ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වූ නායක යහියා සින්වාර්ගේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යෑමට සුදුස්සකු ලෙස හමාස් ජ්‍යෙෂ්ඨ නායකත්වය හයියා තෝරා ගත් බව පැවැසෙයි.
හමාස් සංවිධානය සහ ඊශ්‍රායල අතරේ අවි ගැටුම් පවතිද්දී, ඊජිප්තුව සහ කටාර් රාජ්‍යයේ මැදිහත් වීමෙන් සටන් විරාම සහ සාම සාකච්ඡා පැවැත්වෙද්දී හමාස් නියෝජිත කණ්ඩායමට නායකත්වය දුන්නේ කලීල් අල්-හයියා ය. එහෙයින් ඔහු ජාත්‍යන්තර අවධානය දිනා ගත්තේය.
පසුගිය කාලයේදී හමාස් සංවිධානයේ රාජ්‍යතාන්ත්‍රික හා දේශපාලන උපායමාර්ග සම්බන්ධයෙන් වැඩි වගකීමක් දැරීමටද හයියා කටයුතු කළේය. 2025 සැප්තැම්බරයේ කටාර් හි දෝහා අගනුවර පැවැති හමාස් නායකයන්ගේ හමුවක් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් 65 හැවිරිදි හයියා දිවි ගලවා ගැනීමට සමත් විය. එදා එල්ල වුණු එම ප්‍රහාරයෙන් ඔහුගේ එක් පුතකු ඇතුළු හමාස් සාමාජිකයන් පස්දෙනකු සහ කටාර් ආරක්ෂක අංශ සාමාජිකයකු ජීවිතක්ෂයට පත් වුණු බව වාර්තා විය.
2023 ඔක්තෝබර් 7 වන දින දකුණු ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරය සංවිධානය කිරීමට හමාස් නායකයන් සම්බන්ධ වූ බැවින් මෙම ප්‍රහාරය එල්ල කළ බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු එම අවස්ථාවේදී පැවැසීය.
2023 ප්‍රහාරයෙන් පසු, ඊශ්‍රායල හමුදා, අවස්ථා කීපයකදී හයියා ඝාතනය කිරීමට දැරූ උත්සාහයන්වලදී ඔහු දිවි ගලවා ගත්තේය. එසේ වුවත්, ඊශ්‍රායල ප්‍රහාරවලින් හයියාගේ තවත් පුත්තු තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

