සිරියානු තානාපති කාර්යාලයක් ලිබියාවේ



වසර 14 ක දීර්ඝ කාලයකට පසු, ලිබියාවේ ට්‍රිපොලි අගනුවර  සිරියානු තානාපති කාර්යාලයක් විවෘත කෙරුණි. ඒ, ද්විපාර්ශ්වික සබඳතා නැවත සක්‍රීය කිරීමට සිරියාව සහ ලිබියාව එකඟතාවකට පැමිණීමත් සමගය.

මෙම තීරණය ගෙන ඇත්තේ ලිබියාවේ ජාත්‍යන්තරව පිළිගත් ජාතික සමගි රජයේ අග්‍රාමාත්‍ය අබ්දුල් හමීඩ් ද්බෙයිබා සහ සිරියානු විදේශ අමාත්‍ය අසාද් හසාන් අල්-ෂයිබානි අතර ට්‍රිපොලි නුවරදී පැවැති විශේෂ සාකච්ඡාවකින් පසුවය.

මෙම හමුව සඳහා සිරියානු විදේශ අමාත්‍යවරයා ඉකුත් දා ලිබියාවට පැමිණි බව ලිබියානු ජාතික සමගි රජය නිවේදනය කර ඇත.

2014 වසරේ සිට ලිබියාව පාලන ප්‍රදේශ දෙකකට බෙදී පවතින අතර, අගමැති ද්බෙයිබාගේ නායකත්වයෙන් යුත් ජාතික සමගි රජයට අමතරව ඔසාමා හමාද්ගේ නායකත්වයෙන් සහ කලීෆා හෆ්තාර්ගේ හමුදා සහායෙන් ක්‍රියාත්මක වන නැගෙනහිර පාලන ප්‍රදේශයක්ද පවතී.

කෙසේ වෙතත්, ඉදිරි වසර දෙක ඇතුළත මුළු රටම ආවරණය වන පරිදි ජාතික මැතිවරණයක් පැවැත්වීම සඳහා ලිබියාවේ මෙම ප්‍රතිපක්ෂ පාලන දෙකෙහි නියෝජිතයන් ද නව එකඟතාවකට අත්සන් තැබූ පැවැසෙයි.


RECOMMEND POSTS