ඊශ්‍රායල අගමැතිට බැනලා



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුට දොස් නැගුවේය. ඒ, ඇමෙරිකාව සහ ඉරානය අතරේ ඇති කරගත් අවබෝධතා ගිවිසුමට ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සිය අප්‍රසාදය පළ කළ නිසාය.

ඇමෙරිකා ඉරාන අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම විද්‍යුත් ක්‍රමයට සිදුවිය. ට්‍රම්ප් ගිවිසුමට අත්සන් කළේ ප්‍රංශයේ පැවැත්වුණු ‘ජී7’ සමුළුව අතරතුරේය. 

ඉරානය වෙනුවෙන් ඉරාන ජනාධිපති මෙෂූඩ් පෙසෙෂ්කියන් ගිවිසුමට අත්සන් කළේ ඉරානයේ සිටය. ඇමෙරිකන් මාධ්‍ය මෙන්ම ඉරාන මාධ්‍ය ද මේ බව තහවුරු කළේය. කොන්දේසි 14 කින් ගිවිසුම සමන්විත වෙයි. ඒවා ක්‍රියාත්මක කිරීමට දින 30 ක් සහ දින 60 ක් කල් දී ඇත.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට පහර දුන්නේ, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ද හවුල් කර ගනිමිනි. ඒ, ඉකුත් පෙබරවාරි 28 වැනිදාය. 

එම ප්‍රහාරවලින් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී ඇතුළු ඉරාන ඉස්ලාමීය රජයේ ජ්‍යෙෂ්ඨයන් සහ ආරක්ෂක අංශ ප්‍රධානීහු ජීවිතක්ෂයට පත්වූහ.

ඉරානය සමග ගැටෙමින්, ඊශ්‍රායලය ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට ද පහර දීම ආරම්භ කළේය. හිස්බුල්ලා යනු ඉරාන හිතවාදී සටන්කාමීන්ය. පසුගිය කාලයේ ඊශ්‍රායලය සහ ලෙබනනය අතරේ ඇමෙරිකාවේ මැදිහත් වීමෙන් සටන් විරාමයක් ආරම්භ වුවත්, හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායල හමුදා පහර දුන්නේය.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ‘ජී7’ සමුළුව අතරතුරේ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යාහු දැඩි ලෙස විවේචනය කළේය. ඒ, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් ‘මට්ටු’ කිරීමට ඊශ්‍රායල හමුදාවට නොහැකි බව පවසමිනි. හිස්බුල්ලා සටන්කාමීන් මර්දනය කිරීමේ හැකියාව සිරියානු රජයට ඇතැයි ද ට්‍රම්ප් පැවැසීය.

ජනාධිපති බෂීර් අල් අසාද් ධුරය අතහැර රටින් ද පලා යෑමෙන් පසු සිරියාවේ විපක්ෂය එක් වී රජයක් පිහිටුවීය. සිරියාවේ ජනාධිපති ලෙස කටයුතු කරන්නේ හිටපු අල් කයිඩා නායකයකු වන අහ්මද් අල් ෂාරාය. සෞදියේ මැදිහත් වීමෙන් අල් ෂාරා සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතරේ පවතින්නේ දමීප මිත්‍රත්වයකි. සිරියානු රජයට ඇමෙරිකාවෙන් ආධාර පවා හිමිවෙයි.

‘හිස්බුල්ලා සංවිධානය අඩපණ කරන්න ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යාහු ප්‍රමුඛ රජයට හෝ හමුදාවට හෝ හැකියාවක් නොමැති බව පේනවා. සිරියාවට පුළුවන් සාර්ථකය හිස්බුල්ලා අඩපණ කරන්න. ඒක ඔවුන්ට බාර දුන්නා නම් තමයි හොඳ’ යැයි ට්‍රම්ප් ‘ජී7’ සමුළුවේදී පැහැදිලි කළේය. ඊශ්‍රායලයට ඇමෙරිකාව නොමැතිව ‘පැවැත්මක්’ නොමැති බව ද ට්‍රම්ප් පෙන්වා දුන්නේය.

කොන්දේසි 14 කින් සමන්විත එම අවබෝධතා ගිවිසුමට ඇමෙරිකාව සහ ඊශ්‍රායලය අත්සන් කළ අවස්ථාවේදී, ඇමෙරිකාව සහ ඉරානය අතරේ සාමය ස්ථාපිත කිරීමට මැදහත් වී කටයුතු කළ පාකිස්තානය ඒ ගැන සතුට පළ කළේය. මෙම අවබෝධතා ගිවිසුම නම් කර ඇත්තේ ‘ඉස්ලාමාබාද් අවබෝධතා ගිවිසුම’ යන නමිනි. ට්‍රම්ප් සහ ඉරාන ජනාධිපතිවරයා ගිවිසුමට අත්සන් තැබීමෙන් පසු පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් ද ඊට අත්සන් කළේය. ඒ, පාකිස්තානයේ සිටය.

කටාර් රාජ්‍යයේ සහාය ද අවබෝධතා ගිවිසුම සාර්ථක කර ගැනීමට ලැබී ඇතැයි පැවැසෙයි. පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ ඇමෙරිකාව සහ ඉරානය අතරේ ගිවිසුමට අත්සන් කළ සැණින් ඉරානය විසින් වසා දමනු ලැබූ හෝමූස් සමුද්‍ර සන්ධිය සියලුම නෞකාවලට විවෘත කළ බවය.


RECOMMEND POSTS