නිල් පෙන්ගුයින් රැකගන්න මෙහෙයුමක්

අපේ රටේ විතරක් නෙවෙයි, ලෝකයේ විවිධ රටවල වෙසෙන පරිසරයට සහ සතුන්ට ආදරය කරන පාසප් දරු දැරියන්, පරිසරය වෙනුවෙන් සහ සතුන් රැක ගැනීම වෙනුවෙන් හරි අපූරු දේ කරනවා. නවසීලන්තයෙන් අසන්න ලැබෙන මේ කතාවත් එවැන්නක්.
නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර උතුරු වෙරළ තීරයේ පිහිටි, බ්රවුන්ස් බේ (Browns Bay), කැම්ප්බෙල්ස් බේ (Campbells Bay) සහ මිල්ෆෝඩ් බේ (Milford Bay) යන වෙරළවලට ගිය ඕනෑම අයකුට මේ වනවිට අලුතින් සවි කළ පුවරු කීපයක් දකින්න ලැබේ. ඒ, පුවරුවල ලියා ඇත්තේ, ‘පුංචි නිල් පෙන්ගුයින්’ (Little Blue Penguins) සුරැකීමේ වැදගත්කමයි.
‘පුංචි නිල් පෙන්ගුයින්’ යනුවෙන් හැදින්වන්නේ, ලොව කුඩාම පෙන්ගුයින් විශේෂය වන ‘කොරොරා‘ (Kororā) පෙන්ගුයින්ය. පියාඹන්න වරම් නැතත්, පෙන්ගුයීන් කියන්නේ අහස අහිමි කුරුලු විශේෂයක්. පියාඹන්න බැරි වුණත්, පෙන්ගූවීන්ට මුහුදේ බොහොම වේගයෙන් පීන්නන්න පුළුවන්. වෙන කිසිම කුරුල්ලකුට එහෙම බැහැ. ඉතාම අහිංසක ‘පුංචි නිල් පෙන්ගුවීන්ලා’ වැනි පෙන්ගුයින්ලා මේ වනවිට දැඩි ලෙස වඳවීමේ තර්ජනයට මුහුණ පා සිටිනවා. මනුෂ්ය අපේ නොසැලකිලිමත්කම තමයි ඒකට ප්රධාන හේතුව. ‘කොරොරා’ පෙන්ගුයින්ලාට මුහුදු වෙරළේ ගැවසෙන බල්ලන් වැනි සතුන්ගෙන් ද තර්ජන එල්ල වෙනවා. ඒ සියලු දේ ගැන ජනතාව දැනුවත් කරමින් තමයි පුවරු සවි කිරීම සිදු කර ඇත්තේ.
මේ පුවරු සවි කිරීම පසුපස සිටින්නේ පරිසරයට ආදරය කරන පාසල් සිසුවියන් සිව්දෙනෙක්. ඒ අයගෙන් එක් කෙනෙක් තමයි ශ්රී ලාංකික සම්භවයක් ඇති ෂෙන්යා ජයමාන්න. ඇල්බනි උසස් පාසලේ ඉගෙනුම ලබන ෂෙන්යා, මෙම අපූරු කටයුත්තට සම්බන්ධ වී සිටින්නේ ෂාලට් හිගර්ටි, හාපර් බේකල් සහ ඔලිවියා තොම්සන් යන ඇගේ පාසල් මිතුරියන් ද සමග හවුලේය.
ඇල්බනි උසස් පාසලේ සතියේ සෑම බදාදා දිනකම, පරිසරයට, සමාජයට බලපෑමක් කළ හැකි ආකාරයේ ව්යාපෘති පැවැත්වෙයි. සිසුන්ට කණ්ඩායම් වශයෙන් එක් වී, කණ්ඩායම් හැඟීමෙන් සමාජයට වැඩදායී කැමැති ව්යාපෘතියක් ආරම්භ කිරීමට අවස්ථාව ලබා දීමක් සිදුවෙයි. තමන් කැමති සහ තමන් උනන්දුවක් දක්වන ක්ෂේත්රයක් ඔස්සේ සමාජයට යහපතක් කිරීමට සිසුන්ට උනන්දු කිරීම මෙම ව්යාපෘතියේ අරමුණ බව පාසල් බලධාරීන් පවසයි.

ඉතිං, ෂෙන්යා, ෂාලට්, හාපර් සහ ඔලිවියා කියන මේ සිසුවියන් සිවුදෙනා අවදානය යොමු කළේ අසරණ කොරොරා පෙන්ගුයින්ලා, උන් මුහුණදෙන තර්ජනනවලින් ආරක්ෂා කර ගැනීමයි. සිසුවියන් සිවුදෙනා, මාස ගණනාවක් තිස්සේ පෙන්ගුයින්ලා අධ්යයනය කළා. කොරොරා පෙන්ගුයීන්ලා වෙරළට එන වෙලාව, වෙරළේ රැදී ඉන්න වෙලාව ගැන විමසිලිමත් වුණා.
වසරේ මුල් භාගය පුරාම පෙන්ගුයින්ලාගේ ජීවන රටාව සහ උන් ආරක්ෂා කරගන්නා ආකාරය ගැන කරුණු රැස් කළ සිසුවියන් පසුව ප්රායෝගිකවම ක්රියාත්මක වීමට තීරණය කළා. ඒ අනුව ඕක්ලන්ඩ් බලධාරීන් සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමග එකතු වී, ජනතාව දැනුවත් කිරීමේ පුවරු සවි කළා. "මේ ව්යාපෘතිය හරහා පරිසරය වෙනුවෙන් අපට තිබුණු උනන්දුව සැබෑ වෙනසක් බවට පත් කරන්න හොඳ අවස්ථාවක් ලැබුණා." යැයි සිසුවියන් පවසන්නේ මහත් ආඩම්බරයෙන්.
සිසුවියන්ගේ අගනා ක්රියාව පිටුපස තවත් හදවතට සමීප හේතුවක් තිබෙනවා. ඒ තමයි සිල්වියා ඩුරන්ට්. දැරියන් මෙම ව්යාපෘතිය ආරම්භ කළේ, සිල්වියා ඩුරන්ට්ට උපහාර පිණිසයි. සිල්වියා ඩුරන්ට් කියන්නේ මේ පළාතේ කුරුල්ලන්ට ආදරේ කළ, කුරුල්ලන් ආරක්ෂා කිරීම වෙනුවෙන් වෙහෙසුණු තැනැත්තියක්. ඇය නවනීලන්ත ජාතික කාන්තාවක්. පරිසරවේදිනියක්. කුරුල්ලන්ට ආදරේ නිසාම, මේ පළාතේ වැසියන් ඇය ආදරයෙන් හඳුන්වන්නේ ‘කුරුලු අම්මා’ යන නමින්.
තුවාල වුණු, අකරතැබ්බවලට ලක්වුණු කුරුල්ලන් සහ විශේෂයෙන්ම පෙන්ගුයින්ලා දහස් ගණනක් බේරාගෙන උන්ට සාත්තු කළ ඇය, 2018 වසරේදී වයස අවුරුදු 85 දී විශ්රාම ගියා. ෂෙන්යා, ෂාලට්, හාපර් සහ ඔලිවියා ආරම්භ කළ මෙම ව්යාපෘතිය, සිල්වියා ඩුරන්ට් පරිසරය සහ සතුන් සංරක්ෂණ කිරීමට කැපවී කළ මෙහෙවර ඉදිරියට ගෙන යෑමක් ලෙස එරට මාධ්ය හඳුන්වා දෙනවා.
ලුසිත ජයමාන්න

