Ceylon Tea ප්‍රවර්ධනය



image_e64ae3fd40
වොෂින්ටන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ International Club of DC සමාජය ඒකාබද්ධව ඇමරිකානුවන්ට, ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණ ස්ථාන, Ceylon Tea සහ සාම්ප්‍රදායික ආහාර සංස්කෘතිය හඳුන්වා දීමේ විශේෂ උත්සවයක් පසුගිය දා වොෂින්ටන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පරිශ්‍රයේදී පැවත්විණි. 
 
මෙම උත්සවයේ ආරාධිතයන් පිළිගනිමින් අදහස් දැක්වූ වැඩබලන තානාපති මධුක වික්‍රමආරච්චි, ශ්‍රී ලංකාවට පැමිණ එහි පොහොසත් සංස්කෘතිය, නිවර්තන සෞන්දර්යය සහ ආගන්තුක සත්කාරය අත්විඳින ලෙස ඇමරිකානුවන්ට ආරාධනා කළේය. 
 
සංස්කෘතිය, ස්වභාවික සෞන්දර්යය, ඉතිහාසය සහ ත්‍රාසජනක අත්දැකීම් අතින් ශ්‍රී ලංකාව සංචාරකයින්ට ලබා දෙන සුවිශේෂී විවිධත්වය ඔහු විශේෂයෙන් පෙන්වා දුන්නේය. 
 
මීට සියවසකට පමණ පෙර, ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ ප්‍රකට ඇමරිකානු ලේඛක මාර්ක් ට්වේන් ශ්‍රී ලංකාව පිළිබඳව පැවසූ ප්‍රසිද්ධ ප්‍රකාශය සිහිපත් කරමින්, දිවයිනේ සදාකාලික ආකර්ෂණය පිළිබඳව ද වැඩ බලන තානාපතිනරයා අවධාරණය කළේය. මෙම විශේෂ උත්සවය සංචාරක ප්‍රවර්ධනය සමඟ ශ්‍රී ලංකීය සංස්කෘතිය, ආහාර සහ තේ අත්විඳීමේ අපූරු වේදිකාවක් බවට පත්විය. 
image_fc2ef66b5e
image_92a5b84bac
ශ්‍රී ලංකා නර්තන කණ්ඩායම් කිහිපයක් සාම්ප්‍රදායික නර්තන අංග ඉදිරිපත් කිරීම ද විශේෂත්වයකි. ගෝලීය වශයෙන් පිළිගත් ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය පුළුල් ඇමරිකානු ප්‍රේක්ෂක පිරිසක් වෙත හඳුන්වා දීම මෙම උත්සවයේ ප්‍රධාන අරමුණක් විය. 
 
ආහාර, තේ සහ සංස්කෘතික සංදර්ශනවල එකතුවක් ලෙස පැවති උත්සවය මඟින් සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව කෙරෙහි වැඩි උනන්දුවක් ඇති කිරීමට හැකි වූ බව තානාපති කාර්යාලය සඳහන් කරයි. 
 
 විවිධ වෘත්තීය ක්ෂේත්‍ර නියෝජනය කරන සාමාජිකයන්ගෙන් සමන්විත International Club of DC සමාජයේ සහයෝගය ඇතිව සංවිධානය කරන ලද මෙම උත්සවය, ශ්‍රී ලංකාවේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ වැසියන්ගේත් සබඳතා ශක්තිමත් කර ගැනීමට මහත් පිටුවහලක් වුණු බව ද පැවැසෙයි.

RECOMMEND POSTS