නේපාල අගමැති දෙදිනක් ඉන්දියාවේ

නේපාල අග්‍රාමාත්‍ය බලේන්ද්‍ර ෂා දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට පැමිණියේය.
ඉකුත් මාර්තු 27 වැනිදා අග්‍රාමාත්‍ය ධුරයේ වැඩ භාර ගැනීමෙන් පසු බලේන්ද්‍ර ෂා, නේපාල අග්‍රාමාත්‍යවරයා ලෙස ඉන්දියාවට පැමිණෙන පළමු අවස්ථාව මෙයයි.
නේපාල අග්‍රාමාත්‍යවරයා ඉන්දියාවට පැමිණියේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ විශේෂ ආරාධනයකට අනුව යැයි නේපාල විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.
ඊයේ (22) සවස විශේෂ ගුවන් යානයකින් නවදිල්ලි අගනුවරට පැමිණි බලේන්ද්‍ර ෂා පිළිගනු ලැබුවේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශන්කර් විසිනි.
36 හැවිරිදි නේපාල අග්‍රාමාත්‍යවරයා ඉන්දියාවට පැමිණියේ 34 දෙනකුගෙන් යුත් දූත පිරිසක් ද සමගය. නේපාල මුදල් අමාත්‍ය ස්වර්ණිම් වග්ලේ, විදේශ කටයුතු අමාත්‍ය ශිෂිර් ඛනාල් ඇතුළු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීහු පිරිසක් ඊට ඇතුළත් වෙති.
අද (23) දිනයේ, බලේන්ද්‍ර ෂා ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු හමුවීමට නියමිතය. ඉන්පසු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ අනුග්රඑයෙන් පැවැත්වෙන විශේෂ දිවා භෝජන සංග්‍රහයකට ද ඔහු එක්වනු ඇත. මෝදි සමග ද්වීපාර්ශ්වීක සාකච්ඡා පැවැත්වෙන්නේ ඉන් අනතුරුවය.
එහිදී දෙරට අතර වෙළෙඳාම, ආයෝජන, බලශක්ති සහයෝගීතාව, ප්‍රවාහන සම්බන්ධතා සහ යටිතල පහසුකම් සංවර්ධනය ඇතුළු ක්ෂේත්‍ර රැසක් පිළිබඳව මෙම සාකච්ඡාවලදී අවධානය යොමු කෙරේ.
මීට අමතරව, බලශක්ති ක්ෂේත්රයට අදාළ ව්‍යාපෘති කිහිපයක් විවෘත කිරීම සහ නව ව්‍යාපෘති සඳහා මුල්ගල් තැබීම ද සංචාරයට සමගාමීව සිදුකිරීමට සැලසුම් කර ඇත.
ඊට අමතරව, අධ්‍යාපන, සෞඛ්‍ය, තාක්ෂණික, කෘෂිකර්ම කටයුතු, අභ්‍යවකාශ කටයුතු, ආපදා කළමනාකරණ සහ මානව සම්පත් සංවර්ධනය යන ක්ෂේත්රවලට අදාළ අවබෝධතා ගිවිසුම් කිහිපයක් ද දෙරට අතර හුවමාරු කරගැනීමට නියමිත බව ද පැවැසෙයි.

