වීදුරු බෝතල්වලින් වතුර බීමත් අවදානම්

ප්ලාස්ටික් වතුර බෝතල් හැකිතාක් අවම කළ යුතුයි යන්න පොදු පිළිගැනීමය. එසේ වුවත්, ෆූඩ් කොන්සම්ප්ෂන් ඇන්ඩ් ඇනැලසිස් (Food Composition and Analysis) සඟරාවේ පළවන නවතම පර්යේෂණ වාර්තාවකට අනුව, ප්ලාස්ටික් බෝතල්වලට සාපේක්ෂව, වීදුරු බෝතල්වල ද වැඩි ක්ෂුද්‍ර ප්ලාස්ටික් ප්‍රමාණයක් අන්තර්ගත වෙයි.
වීදුරු බෝතල්වල ක්ෂුද්‍ර ප්ලාස්ටික් අඩංගු වන්නේ කෙසේද? ෆූඩ් කොන්සම්ප්ෂන් ඇන්ඩ් ඇනැලසිස් සඟරාවට අනුව, සෝඩා, බීර, අයිස් තේ වැනි පාන වර්ග ඇසුරුම් කරන වීදුරු බෝතල්වල ලීටරයකට ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු 100 ක් දක්වා, එනම් ප්ලාස්ටික් හෝ ලෝහ බහාලුම්වල මට්ටමට වඩා සියයට 5 සිට 50 ගුණයකින් වැඩිය.
මෙය සිදුවන්නේ, වීදුරු බෝතල් වැසීමට භාවිත කරන ප්ලාස්ටික් ආලේපිත ලෝහ මූඩිය නිසාය. ප්‍රවාහනයේදී බෝතල්වල ඇති පියන් සහ බෝතලය අතර ඇති වන සියුම් ඝර්ෂණයන් තුලින් වගේම විවෘත කිරීමේදී සහ වැසීමේදී සිදු වන බෝතල් පියන් ඇඹරීම හේතුවෙන් මේ විදියට මෙවැනි බෝතල් තුළට ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු මුසවීම සිදුවන බව පර්යේෂණ වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වෙයි.
සාමාන්‍යයෙන් වීදුරු බෝතල් වල පියන යටින් ඇති ප්ලාස්ටික් ආවරණය නිර්මාණය කෙරෙන්නේ පොලිවයිනයිල් ක්ලෝරයිඩ් (PVC) හෝ පොලිඑතිලීන් (PE) වැනි මෘදු ප්ලාස්ටික් වලිනි. එසේ ප්ලාස්ටික් ආවරණයක් යෙදීම සිදුවන්නේ, වාතය රහිත සහ කාන්දු නොවන මුද්‍රාවක් නිර්මාණය කිරීමටය. මේ ප්ලස්ටික් ආවරණය නිසා ලෝහමය පියන වීදුරුව සමග කෙලින්ම ඇඹරීම වළක්වා ගැනීම ද සිදුවෙයි.
පර්යේෂකයන් ඔවුන්ගේ අධ්‍යයනයේදී පෙන්වා දී ඇත්තේ, බීර ඇසුරුම් වීදුරු බෝතල් තුළ කුෂුද්‍ර ප්ලාස්ටික් අංශු 83–133 ක ප්‍රමාණයක් ද ලෙමනේඩ් වැනි සෝඩා බෝතල්වල ප්ලාස්ටික් අංශු 103 ත් 113 ත් අතර ප්‍රමාණයක් ද අන්තර්ගත වන බවය.
එසේ වුවත්, වීදුරු බෝතල් සමස්තයක් ලෙස ප්ලාස්ටික් බෝතල්වලට වඩා නරකයි යැයි මෙම පර්යේෂණයෙන් නිගමනය කෙරෙන්නේ නැත.
ලයිව් සයන්ස් ඇසුරිනි

