සෞදියට හූති ප්රහාර
සෞදි අරාබියේ රියාද් අගනුවර ‘කිංග් කාලිඩ්’ ජාත්යන්තර ගුවන්තොටුපොළ ඉලක්ක කර ගනිමින් මිසයිල ප්රහාර එල්ල වෙයි. ඊයේ (11), ගුවන්තොටුපොළට එල්ල වූ මිසයිල ප්රහාරයකින් 12 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගරණන 309 කි. ප්රහාරය එල්ල කළේ යේමනයේ හූති සටන්කාමීන්ය. හූති සටන්කාමීන්, සෞදියට එල්ල කළ බිහිසුණුම ප්රහාරය මෙයයි. ඊයේ එල්ල වුණු එම මිසයිල ප්රහාරයෙන් මියගිය පිරිස අතර සෞදි, බංග්ලාදේශ, ඇමෙරිකා සහ වෙනත් රටවල වැසියන් සිටින බව වාර්තා වේ. අද (12) දිනයේ ද හූති සටන්කාමීන්ගෙන් මිසයිල ප්රහාරයක් ‘කිංග් කාලිඩ්’ ජාත්යන්තර ගුවන්තොටුපොළට එල්ල විය. කලින් ප්රහාරය මෙන්ම මෙම ප්රහාරය ද උඩු ගුවනේදී වළක්වා ගැනීමට සෞදි ආරක්ෂක අංශ අපහසු විය. ඒ අනුව, එම මිසයිල ප්රහාරයෙන් එක් අයෙක් ජීවිතක්ෂයට පත්විය. ඔහු පාකිස්තානුවකු බව ද පැවැසෙයි.
අද (12) දිනයේ එල්ල වුණු එම මිසයිල ප්රහාරයෙන් තුවාල ලැබූ ගණන 11 කි. හූති සටන්කාමීන්ගේ මෙම මිසයිල ප්රහාර ජාත්යන්තරයේ දැඩි විරෝධයට මෙන්ම පිළිකුලට හේතුවක් වී හමාරය. සිවිල් වැසියන් සහ යටිතල පහසුකම් ඉලක්ක කරගනිමින් සිදුකරන මෙවැනි ප්රහාර කිසිසේත් අනුමත කළ නොහැකි බව ජාත්යන්තර ප්රජාව අවධාරණය කර ඇත.
රෝමන්වරුන්, අරාබි අර්ධද්වීපයේ, දකුණු කෙළවර ප්රදේශය, හැඳින්වූයේ ‘අරාබි ෆීලික්ස්’ (Arabia Felix) යන නමිනි. ලතින් බසින්, ‘Felix’ යනු ‘සතුටින් පිරුණු’ යන්නය. ඒ අනුව, ‘අරාබි ෆීලික්ස්’ යනු ‘සතුටින් පිරි වැසියන්ගේ දේශය’ යන අරුතය. එදා රෝමන්වරුන් ‘සතුටින් පිරි වැසියන්ගේ දේශය’ අද අප හඳුන්වන්නේ ‘යේමනය’ යනුවෙනි. අරාබි අර්ධද්වීපයේ බොහෝ ප්රදේශ පාෂාණමය කාන්තාර වුවත්, යේමනයේ උස්බිම් ප්රදේශවලට මෝසම් වර්ෂාව ලැබීම හේතුවෙන් කෘෂිකර්මාන්තයට ඉතා සුදුසු සාරවත්බවකින් යුක්තය. පුරාණයේ ලෝකය පුරා අතිශයින් වටිනා වූ ලෝබෝනම් (කට්ටකුමංචල්) සහ මිරිස් වැනි සුවඳ විලවුන් දුම්මල නිෂ්පාදනය කළ ප්රධානම මධ්යස්ථානය වූයේ යේමනයයි. ඉන්දියාවේ සහ ආසියාවේ සිට, රෝමයට සහ ඊජිප්තුව දක්වා කුළුබඩු සහ සුවඳ ද්රව්ය ගෙන ගිය ඓතිහාසික ‘සුවඳ විලවුන් මාර්ගයේ’ වැදගත් නැවතුම්පොළ යේමනයයි. එමගින් ප්රදේශයට විශාල ධනස්කන්ධයක් එකතු විය. ‘සතුටින් පිරි වැසියන්ගේ දේශය’ ලෙසත්, ‘වාසනාවන්ත අරාබිය’ ලෙසත් යේමනය හැඳින්වූයේ මේ නිසාය.
අද යේමනයේ තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්ය. ලෝක සිතියමේ උපායමාර්ගික ස්ථානයක පිහිටා ඇති යේමනය, අද වනවිට, දශක ගණනක් තිස්සේ ඔඩුදුවමින් පවතින සිවිල් යුද්ධයකින් බැටකයි. යුද්ධය නිසාම, මානුෂීය අර්බුදයක් ද නිර්මාණය වී ඇත. සිවිල් යුද්ධය සහ මෙම මානුෂිය අර්බුදය කේනද්රස්ථානය ‘හූති’වරුන්ය. හූතිවරුන් යනු යේමනයේ උතුරු කඳුකර ප්රදේශය පදනම් කරගත් ෂියා මුස්ලිම් සන්නද්ධ සහ දේශපාලන සංවිධානයකි. ‘හූති’ යැයි කීවත්, නිල වශයෙන් මෙම සංවිධානය හැඳින්වෙන්නේ, ‘අන්සාර් අල්ලාහ්’ හෙවත් ‘දෙවියන්ගේ හිතවතුන්’ යනුවෙනි.
ඉස්ලාම් දහමේ ප්රධාන නිකාය දෙකකට බෙදී පවතී. ඒ, සුන්නි සහ ෂියා ය. ක්රි.ව. 632 දී මුහම්මද් නබීතුමාගේ අභාවයෙන් පසු ඉස්ලාමීය ප්රජාව (උම්මා) පාලනය කළ යුත්තේ කා විසින්ද යන්න සම්බන්ධයෙන් මතු වූ නායකත්ව ගැටළුව මෙම බෙදීමට මුල් විය. නබීතුමාගේ අනුප්රාප්තිකයා ලෙස ප්රජාතන්ත්රවාදීව තෝරාපත් කරගත් අබු බකර් ඇතුළු කලීෆාවරුන් පිළිගත යුතු යැයි සුන්නිවරුන් විශ්වාස කළ අතර, නබීතුමාගේ ලේ සහ සබඳතා මත පදනම් වූ උරුමය මත උන්වහන්සේගේ බෑණා මෙන්ම මස්සිනා වූ අලි ඉබ්න් අබි තාලිබ් සහ ඔහුගේ පරපුර පමණක් නායකත්වයට සුදුසු යැයි ෂියා ප්රජාව තරයේ විශ්වාස කළහ. කාලයාගේ ඇවෑමෙන් මෙම නායකත්ව ආරවුල ආගමික මතවාද, නීතිමය සංකල්ප සහ චාරිත්ර වාරිත්ර දක්වා ව්යාප්ත වූ අතර, වර්තමානය වන විට මැදපෙරදිග කලාපයේ දේශපාලන බලය, පැවැත්ම සහ භූ-දේශපාලනික ආධිපත්යය තහවුරු කිරීමෙහිලා ප්රධාන ‘මෙවලමක්’ බවට ද මෙම නිකායික අරගලය හේතුවක් වී ඇත. යේමන සිවිල් යුද්ධය සහ දේශපාලන අර්බුදයට ද සුන්නි සහ ෂියා ‘ගැටුම’ හේතුවකි.
1990 දශකයේ දී හුසේන් බද්රෙද්දීන් අල් හූති, සංස්කෘතික සහ ආගමික පුනර්ජීවන ව්යාපාරයක් ලෙස ‘අන්සාර් අල්ලාහ්’ නමැති කණ්ඩායම පිහිටුවීය. කාලයාගේ ඇවෑමෙන් එහි නිර්මාතෘගේ නමින් මෙම කණ්ඩායම ‘හූති’වරුන් ලෙස ජාත්යන්තර අවධානයට ලක් විය. යේමන ජනගහනයෙන් සියයට 35 ත් 40 ත් අතර ප්රමාණයක් ‘සායිදි ෂියා මුස්ලිම්වරුන්’ වන අතර, මෑත දශකවලදී සුන්නි බලපෑම් සහ වෙනත් දේශපාලන සාධක හමුවේ, තමන්ට සිදුවන අසාධාරණකම් මුල්කොට ගනිමින්, ‘අන්සාර් අල්ලාහ්’ කණ්ඩායම සන්නද්ධ සංවිධානයක් බවට පරිවර්තනය විය.
අලි අබ්දුල්ලා සාලේ යේමනයේ ජනාධිපති ධුරය හොබවද්දී, ඔහුට සහ ඔහුගේ සුන්නි මුස්ලිම් මධ්යම රජයට සහාය පළ කරන්න වූයේත් සහ අනුග්රහය දැක්වූයේත් සෞදියයි. යේමනය සෞදියේ අසල්වැසියෙකි. අසාධාරණයට ලක්වුණු සුළුතරය ලෙස හූතිවරුන්, සෞදියේ සහාය ලබන අලි අබ්දුල්ලා සාලේ රජයට එරෙහිව සන්නද්ධ අරගලයක් ඇරැඹුවේය. සාලේගේ ආණ්ඩුව සහ හූතිවරුන් අතර, යේමනයේ උතුරු සාදා පළාතේ සන්නද්ධ ගැටුම් 6ක් ඇති සිදුවුණු අතර, රජය තමන් මර්දනය කිරීමට උත්සාහ කරන බවට හූතිවරු චෝදනා නැගූහ. 2011 වසරේ මැදපෙරදිග කලාපයේ හටගත් අරාබි වසන්තය නමැති ආණ්ඩු පෙරැළියත් සමග ජනාධිපති සාලේට බලයෙන් ඉවත් වීමට සිදු වූ අතර, බලයට පත් වූයේ අබ්ද්-රබ්බු මන්සූර් හාඩිය.
මන්සූර් හාඩි පිහිටුවූ රජය යේමනය ආර්ථික අර්බුදයෙන් මුදවා ගැනීමට අපොහොසත් වූ බව පෙන්වා දෙමින්, හූතිවරු නැවතත් විරෝධතා ආරම්භ කළහ. එහි ප්රතිඵලයක් ලෙස 2014 සැප්තැම්බර් මාසයේදී හූති සටන්කාමීන් යේමනයේ අගනුවර වන සනා නගරයට කඩා වැදී බලය අල්ලා ගත් අතර, 2015 මුල් භාගයේදී ජනාධිපති හාඩි, සෞදි අරාබියට පලා යාමත් සමඟ යේමනය පූර්ණ සිවිල් යුද්ධයකට ඇදී ගියේය. ජනාධිපති හාඩි සහ ඔහුගේ රජයට සහාය දක්වමින්, සෞදිය යේමන සිවිල් යුද්ධයට මැදිහත් වුණු අතර, හවුති ඉලක්කවලට සුන්නි මුස්ලිම් සෞදියෙන් ගුවන් ප්රහාර එල්ල විය. හවුති සටන්කාමීන්ට රහසේ අවි ආයුධ ලබා දීම කළේ ෂියා මුස්ලිම් ඉරානයයි.
යේමනයේ අස්ථාවරත්වය සෞදියේ ජාතික ආරක්ෂාවට සෘජු තර්ජනයක් විය. හූතිවරුන් පිටුපස සෞදියේ ප්රධාන කලාපීය ප්රතිවාදියා වන ඉරානය සිටීම ද සෞදියට තර්ජනයක් විය. එබැවින්, ජාත්යන්තරව පිළිගත් යේමන රජය යළි බලයට පත් කිරීමේ අරමුණින්, 2015 මාර්තු මාසයේදී සෞදි අරාබිය සහ සෞදියට හිතවත් අරාබි රටවල් (විශේෂයෙන්ම එක්සත් අරාබි එමිරේට්ස් රාජ්යය) යේමනයට එරෙහිව දැවැන්ත ගුවන් මෙහෙයුම් දියත් කළ අතර, සෞදි ප්රහාර හමුවේ නොසැලී සිටි හූතිවරු සෞදි අරාබියේ තෙල් පිරිපහදු සහ නගර ඉලක්ක කර ගනිමින් ඩ්රෝන සහ මිසයිල ප්රහාර එල්ල කරමින් ප්රතිප්රහාර එල්ල කළහ
වසර ගණනාවක විනාශකාරී යුද්ධයකින් පසු, 2022 දී එක්සත් ජාතීන්ගේ මැදිහත්වීමෙන් තාවකාලික සටන් විරාමයක් ඇති වූ අතර, සෞදි අරාබිය සහ හූතිවරුන් අතර සාම සාකච්ඡා ද ආරම්භ විය. කෙසේ නමුත්, 2023 ඔක්තෝබර් මස ගැටුම් උත්සන්න වූ ගාසා තීරයේ යුද්ධයත් සමග හූතිවරුන්ගේ භූමිකාව වෙනස් ස්වරූපයක් ගත්තේය. පලස්තීනුවන්ට සහාය දක්වමින්, රතු මුහුද හරහා යාත්රා කරන ඊශ්රායලයට සම්බන්ධ හෝ බටහිර රටවල වෙළඳ නෞකාවලට හූතිවරුන් මිසයිල ප්රහාර එල්ල කරන්න විය. ඇමෙරිකාව මෙන්ම ඊශ්රායලය ද හූතිවරුන් බිහිසුණු ත්රස්ත සංවිධානයක් ලෙස නම් කර ඇත. ඇමෙරිකාව සහ ඉරානය අතරේ පවතින යුදමය තත්ත්වයේ දී, ඇමෙරිකාවේ කෙණහිලිකම්වලට එරෙහිව ඉරානයට සහාය දක්වන බව හූතිවරුන් පවසා ඇත. කෙසේ නමුත්, වර්තමානයේ සෞදිය සහ හූතිවරුන් අතර අර්බුදයට තමන්ගේ කිසිදු මැදිහත් වීමක් නොමැති බවත්, තමන් හූතිවරුන්ගෙන් ඈත් වී සිටින බවත්, හූතිවරුන් ඔවුන්ගේ අභිමතය අනුව ක්රියා කරන බවත් ඉරාන නායකත්වය පවසා ඇත.
මේ අතර, හූති නායකත්වය, විශේෂ අනතුරු ඇගවීමක් කළේය. ඒ, සෞදියේ ගුවන්තොටුපොළ භාවිතා කිරීමෙන් වළකින්නැයි සෞදි වැසියන්ටත්, සෞදියට යන එන විදේශිකයන්ටත් දැනුම් දෙමිණි. තමන් දිගින් දිගටම මිසයිල ප්රහාර සහ නියමුවන් රහිත පුපුරණ ද්රව්ය ඇටවූ ඩ්රෝන ප්රහාර එල්ල කරන බව හූතිවරු අවධාරණය කළහ. හූති සටන්කාමීන්, මීට පෙර මක්කම සහ මදීනා යන පූජනීය නගරවලට මිසයිල ප්රහාර එල්ල කළ නමුත්, උඩු ගුවනේ දී ඒවා පුපුරුවා හැරීමට සෞදි හමුදාව සමත් විය. කෙසේ නමුත් හූති සටන්කාමීන්පැවැසුවේ, මක්කම සහ මදීනා නගරවල ගුවන්තොටුපොළවලට කිසිදු ආකාරයකින් ප්රහාර එල්ල නොකරන බවය.
මේ අතර, රියාද් ජාත්යන්තර ගුවන්තොටුපළට එල්ල වූ ප්රහාරයන් සැලකිල්ලට ගනිමින්, සෞදි අරාබියේ සිටින තම පුරවැසියන් සඳහා විශේෂ ආරක්ෂක අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය පියවර ගෙන ඇත. එම නිවේදනය මඟින් ඇමරිකානු රජය සිය පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ, රියාද්හි කිං ඛාලිඩ් ජාත්යන්තර ගුවන්තොටුපළ සහ ඒ අවට ප්රදේශ වෙත ගමන් කිරීමෙන් වළකින ලෙසය. සෞදි අරාබියේ සියලුම ප්රධාන ගුවන්තොටුපළවල් භාවිතා කිරීමේදී දැඩි ලෙස ප්රවේශම් වන ලෙස ද ඇමෙරිකාව සිය වැසියන්ගෙන් ඉල්ලා ඇත. සෞදි අරාබියේ සේවය කරන ඇමෙරිකානු රාජ්ය නිලධාරීන්ට රියාද්, ජෙඩා සහ දම්මාම් යන ජාත්යන්තර ගුවන්තොටුපළවල් භාවිතා කිරීම සඳහා විශේෂ අවසරයක් ලබාගත යුතු බවට සීමා පනවා ඇති අතර, යේමන දේශසීමාවේ සිට සැතපුම් 20 ක සීමාව තුළ ගමන් කිරීම ද සම්පූර්ණයෙන්ම තහනම් කර ඇතැයි ද වාර්තා වේ. හූති සටන්කාමීන්ගේ ප්රහාර හේතුවෙන් ගුවන්ගමන් අවලංගු වීම්, ගුවන් සීමා වසා දැමීම් සහ ගමන් බාධා සිදුවිය හැකි බැවින්, සිය ගුවන්ගමන් වේලාවන් පිළිබඳව අදාළ ගුවන් සමාගම් හෝ ගුවන්තොටුපළ බලධාරීන්ගෙන් ඍජුවම තොරතුරු තහවුරු කරගන්නා ලෙස ද ඇමෙරිකානු තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසා ඇත.
හූති සටන්කාමීන්ගේ මිසයිල ප්රහාර හේතුවෙන් රියාද් අගනුවර පිහිටි කිංග් කාලිඩ් ජාත්යන්තර ගුවන් තොටුපොළේ මෙහෙයුම් කටයුතු සම්පූර්ණයෙන්ම නවතා දැමුණි. ඊට අමතරව, දම්මාම් ගුවන් තොටුපොළ ද වසා දැමුණි. ජෙඩා ගුවන් තොටුපොළේ ද ගුවන් ගමන් සඳහා දැඩි බාධා එල්ල වී ඇති අතර, නියමිත ගුවන් ගමන්වලින් ගුවන් ගමන් 156 ක් (සියයට 20) අවලංගු කර ඇතැයි වාර්තා විය. ඊට අමතරව, තවත් ගුවන් ගමන් 374 ක් (සියයට 49) ප්රමාද වුණු බව ද පැවැසිණි. සෞදිය තෙක් පියාසර කරන ගුවන් ගමන් බොහොමයක් අවලංගු කිරීමටත්, එම ගුවන් යානා අසල්වැසි රටවලට පියාසර කරවීමටත්, ගුවන් සමාගම් බොහොමයක් පියවර ගත් බව ද විදෙස් මාධ්ය පැවැසීය. මේ අතර, ශ්රී ලංකා ගුවන් සේවයට අයත්, දම්මාම් ජාත්යන්තර ගුවන් තොටුපළ තෙක් පියාසර කිරීමට නියමිත ගුවන් ගමන අවලංගු කළ බව ශ්රී ලංකා ගුවන් සේවය පැවැසීය.

