ෆ්ලයි ඩුබායි හුටපටය

මගීන් 150 දෙනකු රැගෙන ෆ්ලයිඩුබායි ගුවන් සේවයට අයත්, එෆ්.සෙඩ්.1073 ගුවන් යානය, ඉකුත් 30 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් ගුවන්ගත වූයේ, ඊශ්‍රායලයේ බෙන් ගුරියන් ගුවන්තොටුපොළ බලා යෑමටය. යානය ඊශ්‍රායලයට ළං වෙද්දී, නොසිතූ දෙයක් සිදුවිය. යානයේ සහාය නියමුවා යානය පැහැර ගැනීමට තැත් කළේය. ඔහුගේ අරමුණ යහපත් එකක් නොවීය. ඔහුට අවශ්‍ය වූයේ යානය ඊශ්‍රායලයට කඩා වැටීමට සලස්වා මහා විනාශයක් සිදු කිරීමටය.
ඩුබායි සිට බෙන්-ගුරියන් ගුවන්තොටුපොළ බලා යෑමට ෆ්ලයිඩුබායි, එෆ්.සෙඩ්.1073 ගුවන් යානයට ගත වන කාලය පැය 3 යි මිනිත්තු 40 කි. යානයේ ගුවන් මඟ වැටී ඇත්තේ සෞදි අරාබියට සහ ජෝර්දානයට ඉහළිනි. යානයේ ප්‍රධාන නියමුවා ඉන්දීය ජාතිකයෙකි. ඔහු කැප්ටන් ස්මිත් මච්චාර්ය. සහාය නියමුවා ඕමාන ජාතිකයෙකි. (ආරක්ෂක හේතූන් නිසා මෙම ලිපිය ලියන මොහොතේ ඔහුගේ නම හෝ ඔහුගේ පෞද්ගලික විස්තර හෝ මාධ්‍ය වෙත අනාවරණය වී නොතිබුණි.)
යානයේ සිටි මගීන් 150 දෙනාගෙන් සියල්ලන්ම පාහේ ඊශ්‍රායල ජාතික යුදෙව්වන්ය. ඊට අමතරව, රාජකාරියේ නියැලී නොසිටි, ෆ්ලයිඩුබායි ගුවන් සේවයේ ගුවන් නියමුවන් දෙදෙනකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයෝ දෙදෙනෙක් ද වූහ. මගීන් අතර සිටි එම නියමුවන් දෙදෙනා යුරෝපා ජාතිකයන් බවත්, එක් අයකු බ්‍රිතාන්‍ය ජාතිකයකු බවත් පසුව අනාවරණය විය.
යානය ගුවන්ගත වී පැය දෙකහමාරක් යද්දී, එය සෞදි ගුවන් සීමාවට පිවිස, සෞදියට ඉහළින් පියාසර කරමින් තිබුණි, බෙන් ගුරියන් ගුවන් ගමන් පාලන මැදිරිය මෙන්ම, සෞදි ගුවන් බලධාරීන් ද යානයේ නියමුවන් සමග සම්බන්ධ වී සිටි අතර, සෞදි ගුවන් බලධාරීහු රේඩාර්වලින් යානයේ ගමන් මග නිරීක්ෂණය කරමින් සිටියහ. සියල්ල සාමකාමී විය.
හිටිහැටියේ, ඕමාන ජාතික සහාය නියමුවා, ප්‍රචණ්ඩ ලෙස හැසිරෙමින්, යානයේ පාලනය සියටතට ගැනීමට උත්සාහ කළේය. සහාය නියමුවා අතැතිව පිහියක් විය. ආරක්ෂක අංශවලට හොරා, ඔහු පිහියක් රැගෙන විත් තිබුණි. සහාය නියමුවාගේ අරමුණ යහපත් එකක් නොවිණි. ඔහු ප්‍රධාන නියමුවා බිය ගැන්වීමට උත්සහ ගන්න ඇති බවත්, ප්‍රධාන නියමුවා ඊට අවනත නොවන්න ඇති බවත් පැවැසෙයි. දෙදෙනා අතර සිදුවුණු බහින්බස්වීම්, පොර බැදීම් අවසන් වූයේ ප්‍රධාන නියමු මච්චාර් පිහි ප්‍රහාරවලින් තුවාල ලැබීමෙන් පසුවය.
ගැටුම අතරතුරේ, ප්‍රධාන නියමු ස්මිත් මච්චාර්, සෞදි ගුවන් බලධාරීන්ට ‘Squawk 7700’ සංඥාවක් යැවීමට ද අමතක කළේ නැත. ඒ වනවිට යානය, හිටිහැටියේ අඩි 17,000 කට වඩා පහළට පැමිණ තිබුණි. ‘Squawk 7700’ යනු, මගී ගුවන් යානාවල භාවිත කරන ජාත්‍යන්තර හදිසි ආපදා කේතයයි. ගුවන් යානයේ ඇති ට්‍රාන්ස්පොන්ඩර් උපකරණය මඟින් මෙම කේතය සක්‍රීය කළ විට, ගුවන් පාලක මැදිරි වෙත, යානය තුළ හදිසි තත්ත්වයක් ඇති බව කියයි.
‘Squawk 7700’ තාක්ෂණික දෝෂයක්, යානය තුළ ගින්නක්, වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වීමක් ගැන කියන අනතුරු ඇඟවීමකි. ‘Squawk 7700’ කේතය ලැබුණු සැණින්, ගුවන් ගමන් පාලන බලධාරීන්, වහා ක්‍රියාත්මක වී, හදිසි තත්ත්වයට මුහුණ දෙන යානයට ප්‍රමුඛතාව දෙයි. එය ආරක්ෂිතව ගොඩබැස්සවීම සඳහා අවශ්‍ය සියලු කටයුතු කරයි.
ෆ්ලයිඩුබායි මගී යානයේ ‘Squawk 7700’ කේතය පසුව ‘Squawk 7500’ ලෙස වෙනස් විය. ‘Squawk 7500’ යනුගුවන් යානයක් පැහැර ගැනීම සිදුවුහොත්, අනතුරු ඇඟවීමේ කේතයයි. ඒ අනුව, සෞදි බලධාරීන් පමණක් නොව, ඊශ්‍රායල බලධාරීන් ද වහා ක්‍රියාත්මක විය. සෞදි ගුවන් හමුදාව ඔවුන්ගේ ප්‍රහාරක යානා දෙකක් ගුවන්ගත කළේ ෆ්ලයිඩුබායි, එෆ්.සෙඩ්.1073 ගුවන් යානය ගැන විමසිල්ලෙන් පසුවන්නැයි උපදෙස් දෙමිණි. ඊශ්‍රායල ගුවන් හමුදාව ද ප්‍රහාරක යානා දෙකක් ගුවන්ගත කර තිබුණු බව ද පැවැසෙයි.

නියමු කුටියේ සිදුවුණු පොර බැඳීම සහ ප්‍රධාන නියමුවා පිහි ප්‍රහාරයෙන් තුවාල ලැබීම දැනගත් සැණින්, යානයේ සිටි ෆ්ලයිඩුබායි කාර්ය මණ්ඩල සාමාජිකයන් සිවු දෙනාත්, මගීන්ගෙන් කීප දෙනකුත් වහා ක්‍රියාත්මක වී, නියමු කුටියට කඩා වැදී, පොර බදා, ඕමාන ජාතික නියමුවා ග්‍රහණයට ගත් බව පැවැසෙයි.
සාමාන්‍යයෙන් ආරක්ෂක හේතූන් මත, ගුවන් යානයක, නියමු කුටිය, අගුලු දැමීම සිදුවෙයි. ඊට පහසුවෙන් කාටවත් ඇතුළුවීමට අවසර නොලැබෙයි. සහාය නියමුවාගේ පිහි ප්‍රහාරවලින් තුවාල ලැබූ ප්‍රධාන නියමුවා, මච්චාර් කෙසේ හෝ නියමු කුටියේ දොර විවර කළේය. නයේ සිටි ෆ්ලයිඩුබායි කාර්ය මණ්ඩල සාමාජිකයන් සිවු දෙනාත්, මගීන්ගෙන් කීප දෙනකුත් නියමු කුටියට කඩා වැදුණේ ඒ අනුවය.
සහාය නියමුවා මෙල්ල කිරීමෙන් පසු අවසානයේ යානය ආරක්ෂිතව ගොඩබෑම කළේ බ්‍රිතාන්‍ය ජාතික ගුවන් නියමුවා සහ අනෙක් යුරෝපා ජාතික ගුවන් නියමුවාය. මොවුන් දෙදෙනාගේ අනන්‍යතාව ද මෙතෙක් තහවුරු වී නැත. සිදුවුණු සියල්ල පැහැදිලි කිරීමෙන් අනතුරුව, යානය, සෞදියේ ටබුක් ගුවන්තොටුපොළට හදිසි ගොඩබෑමක් සඳහා සෞදි බලධාරීන්ගේ අවසර හිමිවිය.
ඕමාන ජාතික ගුවන් නියමුවා සමග පොර බැදීමෙන් පසු පිහි ප්‍රහාරයට ලක්වුණු ඉන්දීය ගුවන් නියමු කැප්ටන් මච්චාර් වීරයකු ලෙස හඳුන්වා දීමට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු කටයුතු කළේය. මච්චාර් රෝහල් ගත කළ බවත්, ඔහුට අවශ්‍ය ප්‍රතිකාර කඩිනමින් ලබා දුන් බවත්, ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවත්, සෞදියේ ඉන්දීය තානාපති කාර්යාලය පැවැසීය. යානයේ මගීන්ගේ ග්‍රහණයට පත්වුණු ඕමාන ජාතික නියමුවා සෞදි ආරක්ෂක අංශ අත්අඩංගුවට ගැනුණි.
යානයේ මගීන් අතර සිට, අවසානයේ යානය ආරක්ෂිතව ගොඩබෑම සිදු කළ ෆ්ලයිඩුබායි ගුවන් නියමුවන් දෙදෙනාටත්, ප්‍රහාරකයාගේ ඇගට පැන ඔහු අල්ලා ගැනීමට සහාය යානයේ සිටි එක් මගියකු වන යනිව් හයුන් ද වීරයකු ලෙස හැඳින්වීමට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යාහු අමතක කළේ නැත. “යානයේ ප්‍රධාන නියමුවා තුවාල වී සිටින බව දැන ගත් සැණින්, මගීන් සමග අසුන් ගෙන සිටි ෆ්ලයිඩුබායි නියමුවන් දෙදෙනා සහ අනෙක් කාර්ය මණ්ඩල සාමාජිකයන් උත්සාහ ගත්තා නියමු කුටියට ඇතුළු වෙන්න. ඒත් ඒක සාර්ථක වුණේ නැහැ. දැඩි පරිශ්‍රමයකින් පසු එය කළ හැකි වුණා. පිහිය අතැතිව සිටි නියමුවා යානයේ පාලන පුවරු විනාශ කිරීමට පවා උත්සාහ ගනිමිනුයි හිටියේ. මම තමයි මුලින්ම ඔහු වෙත කඩා පැන්නේ. මම ඔහුව තදින් අල්ලා ගනිද්දී, පිහිය ඔහුගේ අතින් අත හැරුණා. මම නියමු කුටියෙන් එළියට අරන් ගියා. අනෙක් මගීන් මට සහාය දුන්නා. අපි ඔහු බිම පෙරළාගෙන යටත් කරා. හෙඩ් සෙට් වයර්වලින් අපි ඔහුගේ අත් පිටුපසට කරලා ගැට ගැසුවා.” යැයි යනිව් හයුන් සිය ත්‍රාසජනක අත්දැකීම මාධ්‍ය හමුවේ විස්තර කළේය.
බීබීසී ඇසුරිනි

