සෞදි කුමරු බංකරයක හැංගිලා



යේමනයේ හූති සටන්කාමීන්ගේ ප්‍රහාර හමුවේ, සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුන්ට අධි ආරක්ෂිත බංකරවල සැඟවී සිටීමට සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

යේමනයේ ෂියා මුස්ලිම් හූති සටන්කාමීන්, දිගින් දිගටම සෞදියට ප්‍රහාර එල්ල කරයි. හූති සටන්කාමීන්, ඉකුත් සති අන්තයේ, රියාද් අගනුවර ‘කිං කාලීඩ්’ ජාත්‍යන්තර ගුවන්තොටුපාළට එල්ල කළ ප්‍රහාරය, හූතිවරුන් සෞදියට එල්ල කළ දරුණුතම ප්‍රහාරය ලෙස සැලකෙයි. එම මිසයිල ප්‍රහාරයෙන් ගුවන්තොටුපොළේ සිටි 13 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 300 කට වැඩිය.

එම ප්‍රහාරයෙන් පසු  ‘කිං කාලීඩ්’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ද ඇතුළු සෞදියේ සෙසු ප්‍රධාන ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සියල්ල මේ වනවිට මෙහෙයුම් නවත්වා තාවකාලිකව වසා දමා ඇතැයි පැවැසෙයි.

පිටපිට තෙවැනි දිනට ද හූති සටන්කාමීන්, සෞදියට මිසයිල ප්‍රහාර එල්ල කළ බව ද වාර්තා විය.

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන ආකාරයට, ආරක්ෂක අංශ සාමාජිකයන් පසුගිය දින කීපයේ, 41 හැවිදිරි සල්මාන්ව, රියාද් අගනුවර අධි ආරක්ෂිත බංකර් කීපයකට මාරුවෙන් මාරුවට රැගෙන ගොස් ඇත.

සල්මාන් කුමරු යනු වත්මන් සෞදි අරාබි රාජ්‍යයේ සල්මාන් බින් අබ්දුල්අසීස් අල් සවුද් රජතුමාගේ පුත්‍රයා වේ. කුමරුන්ගේ මෑණියන් වන්නේ ෆාහ්දා බින්ට් ෆලාහ් අල් හිත්ලෙයින් කුමරියයි.

සල්මාන් කුමරුගේ නායකත්වය යටතේ සෞදි අරාබිය වේගවත් ආර්ථික සහ සමාජීය පරිවර්තනයකට ලක්වෙමින් පවතී. 
එසේ වුවත්, කුමරුන්ගේ විදේශ ප්‍රතිපත්තිය සහ දේශපාලනික තීන්දු තීරණ ජාත්‍යන්තරයේ දැඩි අවධානයට මෙන්ම විවේචනයට ද ලක්ව තිබේ. යේමන රජය සෞදි හිතවාදී වන අතර, හූති සටන්කාමීන්ට එරෙහි සටනේදී යේමන රජයට සෞදියේ සහාය හිමිවෙයි.

හූති සටන්කාමීන් සෞදිය ඉලක්ක කර ගනිමින් මේ වනවිට පහර දෙන්නේ ඒ නිසාය. සල්මාන් කුමරු සහ ඇමරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතරේ ඇත්තේ ඉතා සමීප මිත්‍රත්වයකි.


RECOMMEND POSTS