මානසික සෞඛ්‍යය සුවදායී වීමේ වැදගත්කම



සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ යමුනා එල්ලාවල

මානසික සෞඛ්‍යය නඟා සිටුවීම සමස්ත යහපැවැත්මේ අත්‍යවශ්‍ය අංගයක් බැවින් ඒ ගැන යම්තාක් දුරකට හෝ දැනුවත්ව හිඳීම ප්‍රයෝජනවත්ය. මානසික සෞඛ්‍ය ගැටලුද අපේ ජීවිතයේ,පවුලේ, රැකියා ස්ථානයේ සහ සමාජයේ දක්නට ලැබෙන අතර ඒවායින් අප සියලුම දෙනාට බලපෑමක් ඇති වේ. තනි පුද්ගලයන් ලෙස හෝ පොදුවේ සමාජයක් ලෙස මානසික සෞඛ්‍යය අයහපත් වීම වළක්වා ගැනීමට අප හැකි පමණ උත්සාහ ගත යුතුය.

ගෝලීය ජනගහණයෙන් සියයට 60ක් කුමන හෝ රැකියාවක නියැළෙන අතර ඔවුන් තම කාලයෙන් සියයට 60ක්ම ගත කරනුයේ තම සේවා ස්ථාන තුළය. මෙසේ රැකියාවල නියුතු වැඩිහිටියන්, තමන් දවසේ අවදිව සිටින කාලයෙන් වැඩි කොටසක් රැකියාව වෙනුවෙන් වැය කරන බැවින් රැකියාව තම ජීවනෝපාය සඳහා පමණක්ම නොව ජීවිතයේ අරමුණක් සහ ප්‍රීතිමත් බවක් ලබා දෙන දෙයක් බවට පත්ව තිබේ.

එහෙත්බොහෝ අයට එය එසේ නොවේ. අපගේ ජීවිතයේ යහපැවැත්ම වැඩි දියුණු කර ගැනීමට අපොහොසත් වන අතර අධිකව ආතතියට පත් වීම මගින් මානසික සෞඛ්‍යයට අහිතකර බලපෑම් ඇති වී තිබේ.

පුද්ගලයකුගේ මානසික සෞඛ්‍යය ඔප මට්ටම් කර ගැනීමේදි රැකියා සථානය සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කෙරේ. එනිසා රැකියා ස්ථානයේ මානසික සෞඛ්‍යයට ප්‍රමුඛ ස්ථානයක් දීම මගින් සේවක යහ පැවැත්ම, පලදායිතාව, වැඩි දියුණු වනවා සේම ආයතනයේ දියුණුවද සලසා ගත හැකිය.

එබැවින් මුළු ලෝකයම එක්ව රැකියා ස්ථානය සේවකයන්ගේ මානසික සෞඛ්‍යය හා යහපැවැත්ම ඉහළ නංවන තැනක් මෙන්ම සේව්‍යයන් සඳහාද පලදායිතාව වැඩි ආයතනයක් බවට පත් කර ගැනීමට කඩිනමින් කටයුතු කළ යුතුය. මේ සඳහා රැකියා අවස්ථා ලබා දීමේදී ස්ත්‍රී පුරුෂ භාවය, ජාතිය, ආබාධිත බව වැනි කරුණු සලකා අසමානතා දුරු කිරීමට අවධානය යොමු කිරීම වැදගත්ය.


මානසික සෞඛ්‍යය හා රැකියා ස්ථානය අතර පවතින දිවිපාර්ශ්වික සම්බන්ධතාව අවබෝධ කර ගැනීමද හොඳය. සෞඛ්‍ය සම්පන්නව සිටින සේවකයන් පවා අයහපත් වැඩ පරිසරයක් තුළ කායිකව හා මානසිකව පීඩා විඳිය හැකිය. සේව්‍යයන් උනන්දුවෙන් මානසික යහපැවැත්ම ගැන කටයුතු කරනවා නම් සේවකයන්ගේ ආතතිය අඩු වීම, සේවයට නොපැමිණීම අඩු වීම හා ඔවුන්ගේ සේවයට කැප වීම වැඩි වීම එහි ප්‍රතිඵලයක් ලෙස ලබා ගත හැකි වනු ඇත. එසේම සේවා ස්ථානය තුළ මානසික ගැටලු සහිත සේවකයන් වෙත දක්වන අපවාදය හා වෙනස් කොට සැලකීම පිටු දැකීමද අත්‍යවශ්‍යය.

මේ සඳහා සේවා යෝජකයන් හා සේවකයන් දැනුවත් කිරීම, සේවා ස්ථානවල මානසික ප්‍රතිපත්ති සැකසීම, ක්‍රියාවට නැංවීම, උපකාරාත්මක වැඩ පරිසරයක් ඇති කිරීම, සේවක ආධාර වැඩ සටහන් ,ආතති කළමනාකරණය, වැඩ ජීවිත සමතුලිතතාව ,ආධාරක ජාල ක්‍රියාවට නැංවීම වැනිදෑ අනුගමනය කළ හැකිය.

- සටහන - මාධවී ධර්මරත්න


RECOMMEND POSTS