දියවැඩියාව පාලනයට ලංකා කුරුඳු



ලංකා කුරුඳු නැතිනම් ‘සිලෝන් සිනමන් ශාකයෙන් නිස්සාරණය කළ, ප්‍රමිතිගත කුරුඳු නිස්සරණයක් මඟින් රුධිරයේ සීනි මට්ටම කෙරෙහි ඇති කෙරෙන බලපෑම පිළිබඳව කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ  සායනික පර්යේෂණ ආයතනයත්, RemediumOne ආයතනයත් එක්ව නව පර්යේෂණයක් ආරම්භ කර ඇත.

පර්යේෂණය සඳහා, Cinnamomum Zeylanicum යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන ලංකා කුරුඳු (Ceylon Cinnamon) ශාකයෙන් නිස්සාරණය කරගත් CeyCinnXTM සාරය යොදා ගැනුණි. මෙමගින් දියවැඩියා රෝගීන්ගේ (Type 2 Diabetes) රුධිර සීනි මට්ටම සහ ලිපිඩ මට්ටම පාලනය කළ හැකි දැයි අධ්‍යයනය කෙරේ. පර්යේෂණය සඳහා අහඹු ලෙස, ස්වකැමැත්තෙන් ඉදිරිපත් වුණු දියවැඩියා රෝගීන් පිරිසක් ඊට සම්බන්ධ කර ගැනුණි. ඒ අනුව, කුරුඳු සාරය ලබා දුන් අයගේ රුධිර සීනි මට්ටම එම සාරය ලබා නොදුන් අයගේ රුධිර සීනි මට්ටමට වඩා සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුවන බව පෙනී ගියේය.

ලංකා කුරුඳුවල ප්‍රමිතිගත නිස්සාරණයේ (CeyCinnXTM) බලපෑම සොයා බැලීම සඳහා තෝරාගත් දියවැඩියා රෝගින්ගෙන් අහඹු ලෙස තෝරාගත් හරි අඩකට කුරුඳු සාරය අඩංගු කරල් ද අනෙක් පිරිසට ඒ හා  සමාන කුරුඳු සාරය අඩංගු නොවන කරල් ද ලබා දීම සිදු විය. ලංකා කුරුඳු ප්‍රමිතිගත සාරය ලබා ගත් අයගේ රුධිරයේ සීනි මට්ටම සැලකිය යුතු මට්ටමකින් අඩු වන බව නිරික්ෂණය කෙරිණි.

විදේශවල ඇත්තේ, ‘සැසියා සිනමන්’ නමැති කුරුඳු වර්ගයයි. එම කුරුඳු වර්ගයේ ‘කුමරින්’ නම් සංඝටකය වැඩි වශයෙන් අන්තර්ගතය. ඊට සාපේක්ෂව, ලංකා කුරුඳු ශාකයේ ‘කුමරින්’ අඩංගු වන්නේ ඉතා අඩුවෙනි. ‘කුමරින්’ දීර්ඝකාලීනව ලබාගැනීම හරහා නොයෙකුත් අතුරු ආබාධ ඇතිවිය හැකිය. ලංකා කුරුඳු භාවිත කර සිදු කළ මේ පර්යේෂණයේදී ලංකා කුරුඳු ආරක්ෂිත බව ද තහවුරු විය.

කැලණිය විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨයේ සායනික පර්යේෂණ ඒකකයේ මහාචාර්ය ඒ. පත්මේශ්වරන්  ඇතුළු පරීක්ෂකයන්, RemediumOne ආයතනයත් සහ ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දිමුතු මුතුකුඩ මහත්මිය ඇතුළු විශේෂඥයන් මෙම පර්යේෂණය සඳහා දායකත්වය ලබා දුන්හ.

රුවන් පුෂ්ප කුමාර
සන්නිවේදන හා මාධ්‍ය ඒකකය
කැලණිය විශ්වවිද්‍යාලය

RECOMMEND POSTS