දරුවාගේ චිත්තවේග වර්ධනයට මාපිය සෙනෙහස

දරුවාගේ කායික සහ මානසික වර්ධනය සඳහා ඔවුන්ගේ අවශ්‍යතාවලදී දෙමාපියන්ගේ මෙන්ම රැකබලාගන්නන්ගේ ද ධනාත්මක ප්‍රතිචාර අවශ්‍ය වනවා. දරුවන් වෙත එවැනි ධනාත්මක ප්‍රතිචාර දැක්වීම ඔවුන්ගේ වගකීමක් වන අතර දරුවා සහ දෙමාපියන් අතර සබඳතාව ශක්තිමත් කිරීමටත් එය බෙහෙවින් බලපානවා.
දෙමාපියන්ගේ අසීමිත ආදරය දරුවාගේ ජීවිතය සාර්ථක කරගැනීමට වගේම ඔවුන්ගේ කායික හා මානසික වර්ධනයටත් සපයන්නේ ලොකු පිටුබලයක්. උණුසුම, සුවපහසුව, රැකවරණය, පෝෂණය, පිළිගැනීම හෝ ආදරය දක්වන වැළඳගැනීමක්, සිපගැනීමක් හෝ ප්‍රශංසාවක් වශයෙන් ද දෙමාපියන්ගේ ආදරය ප්‍රකාශ කළ හැකියි. මේ ක්‍රියාවන්ට සහ ප්‍රකාශවලට දරුවා සතුටින් නිරෝගීව තබන්නටත්, ලෝකය දිනන්නට අවශ්‍ය ශක්තිය දෙන්නටත් හැකි පුදුමාකාර බලයක් තිබෙන බව සත්‍යයක්.
දෙමාපියන් යනු දරුවාගේ ජීවිතයට බද්ධ වූ චරිතයි. යහපත් මාපිය-දූදරු සබඳතාවක් සෑම දරුවෙකුටම ඉතා වැදගත්. දරුවාගේ චිත්තවේග සහ මානසික සුවතාවයට මාපිය ආදරය සහ ඔවුන් සමඟ ඇති සබඳතාව බෙහෙවින් බලපානවා. දෙමාපියන් වෙතින් ලැබිය යුතු ආදරය, රැකවරණය නොලැබී යාමෙන් දරුවාගේ චරිත සහ පෞරුෂ වර්ධනයට හානි සිදු වෙන්න පුළුවන්.
දෙමාපිය ආදරය නිසි තරම් නොලබන දරුවන්ට, තමන් දෙමාපියන්ගෙන් ප්‍රතික්ෂේප වී ඇති බවක් දැනෙනවා. මෙවැනි ප්‍රතික්ෂේප වීමේ වේදනාවෙන් පීඩා විඳින දරුවෙකුට කොපමණ මිල මුදල් වැය කරමින් කායික සුවපහසුව ලබා දෙන්න උත්සාහ කළත් ඒ අඩුව කිසි විටෙකත් පිරවීමට නොහැකියි. මේ තත්ත්වය විවිධාකාරයෙන් දරුවන්ගේ සෞඛ්‍යයට බලපාන අතරම දරුවන් සහ දෙමාපියන් අතර සබඳතාව දුබල කරන්නටත් මෙය හේතු වෙනවා.
මෙවැනි පවුල්වල හැදී වැඩෙන දරුවන් ළමා වියේදී සහ වැඩිහිටි වියේදී මානසික හා කායික රෝගාබාධවලට ගොදුරු වීමට ඉඩ තියෙනවා.
එය ඔවුන්ගේ ආත්ම අභිමානය ද හීන කරනවා.
ළමුන් ධනාත්මක ආකල්ප වෙත නිරාවණය නොවීමෙන් ඔවුන්ගේ සමාජ කුසලතා වර්ධනයට එය දැඩිව බලපානු ලබනවා.
දරුවන්ට අවශ්‍ය තරම් උදව් උපකාර, ආදරය සහ රැකවරණය නොලැබීම නිසා අධ්‍යාපන කටයුතු සඳහා ද ඍණාත්මක බලපෑම් ඇති වීමට පුළුවන්.
පර්යේෂණ මඟින් පෙන්වා දී ඇති අන්දමට මුල් කාලයේ මාපිය ආදරය ලැබීම, ළමා වියේ සිට වැඩිහිටි විය දක්වාම ධනාත්මක බලපෑම් ඇති කරන සාධකයක්. මාපිය ආදරය අඩුවකින් තොරව ලබන දරුවන් වැඩිහිටි වියේදීත් සතුටින් සිටින සහ සාර්ථකව ජීවිතය ගත කරන අය බව අනාවරණ වී තිබෙනවා.
දෙමාපියන්ගේ අසීමිත ආදරය, රැකවරණය, සැලකිල්ල, උපකාර යනාදී එකී මෙකී නොකී සියල්ල තුළින් දරුවා තුළ පිළිගැනීම, වටිනාකම සහ චිත්තවේගී සුරක්ෂිතතාව වැනි හැඟීම් ඇති කරවීමට බලපානවා. එවැනි දරුවන් තුළ මනා ආත්ම අභිමානයක් ද ඇති වෙනවා. ඔවුන්ගේ දරාගැනීමේ හැකියාව ද ඉහළ මට්ටමක පවතින අතර අධ්‍යාපන කටයුතුවලදී ද ඔවුන් ඉහළ දක්ෂතා පෙන්වනවා. මේ අතරතුර යහපත් සමාජ නිපුණතා සහ චිත්තවේග නියාමනය කිරීමේ කුසලතා වර්ධනය කිරීමත් ඉතා වැදගත්. සමස්තයක් ලෙස බලන විට දෙමාපියන්ගේ අසීමිත ආදරය, දරුවාගේ යහපත වෙනුවෙන් දිය හැකි උතුම්ම දායාදයකි.
තරුෂි නෙත්මිණි
කැලණිය විශ්ව විද්‍යාලය

