ඔබේ වැසිකිළියට වඩා ඔබේ තුවාය අපිරිසුදුයි



අප කවුරු කවුරුත් ඇඟපත සෝදා හෝ ස්නානය කර හෝ පිරිසුදු වී, සිරුර පිසින්නේ අප එකිනෙකාට වෙන් වූ තමන්ගේම කියා තුවායකිනි. විද්‍යාඥයන්ට අනුව නම්, ඔබ භාවිත කරන මේ තුවාය, ඔබේ නිවසේ වැසිකිළියට වඩා අපිරිසුදුය. 

ඊට හේතුව, අප බොහෝ දෙනකු සිරුර පිරිසුදු කර ගැනීමට භාවිත කරන්නේ එක් තුවායක් පමණි. සිරුර තෙත මාත්තු කිරීමෙන් පසු තුවාය වේළීමට දැමීම කරයි. ඒත් කාර්ය බහුල ජීවිතයකට හුරු වී සිටින බොහෝ දෙනකුට තම තමන්ගේ තුවාය නිසි ලෙස වේළා ගැනීම කළ නොහැකිය. තුවාය සැමවිටම සෝදා වේළා පිරිසුදු කිරීමක් ද සිදු නොවෙයි.

විද්‍යාඥයන් පෙන්වා දෙන අන්දමට, හිස, සිරුර පිස දමන තුවාය තෙත පිටින් තිබියදී, එහි බැක්ටීරියා සහ විවිධාකාරයේ ක්ෂුද්‍ර ජීවීන් වර්ධනයක් සිදුවෙයි. තෙත තුවායක් යනු බැක්ටීරියා වර්ධනයට සුදුසු තෝතැන්නකි. මේ බැක්ටීරියා සහ ක්ෂුද්‍ර ජීවීන් බෝවන රෝග පතුරුවාලීමට හේතුවක් වෙයි. කිසිම ආකාරයකින් ඔබට ඔබේ තුවාය, සියයට 100 ක් ක්ෂුද්‍ර ජීවීන්ගෙන් තොරව තබා ගත නොහැකි වන නමුත්, නිතර නිතර සෝදා හොඳින් වේළා ගැනීමෙන් අහිතකර ක්ෂුද්‍ර ජීවීන් සීමා කළ හැකි යැයි විද්‍යාඥයෝ පැහැදිලි කරති. 

“සාමාන්‍යයෙන් අප හැමෝගේම සිරුරුවල බැක්ටීරියා ඉන්නවා. මේ බැක්ටීරියාවලින් අපේ සිරුරුවලට හානියක් නැහැ. ඒවා අපේ පැවැත්මට අවශ්‍යයයි. ඒත් බාහිරව අපේ සමේ තැවරෙන බැක්ටීරියා හෝ ක්ෂුද්‍ර ජීවීන් හෝ සිටිනවා. සරලව කීවොත් මේවා විෂබීජ. අප ස්නානය කළ පසු හෝ ඇඟපත සෝදා පිරිසුදු වීමෙන් පසු තුවායෙන් පිස දමද්දී ඒ අහිතකර විෂබීජ තුවායට මාරු වෙනවා. තුවාය හොඳින් වියළිව තබා ගැනීමට නොහැකි නම්, එහි ඒවා නොනැසී පවතිනවා. ඒක අපට අහිතකරයි. අප අවට වටපිටාවේ ඇති මෙම සියලු ක්ෂුද්‍ර ජීවීන් සමඟ ජීවත් වීමට අපගේ ශරීරය අනුවර්තනය වී නැහැ.” යැයි ඇමෙරිකාවේ මිචිගන් විශ්වවිද්‍යාලයේ මහජන සෞඛ්‍ය පාසලේ වසංගත රෝග විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්ය එමිලි මාටින් පෙන්වා දෙයි.
 
BBC ඇසුරිනි


RECOMMEND POSTS