දිගින් වැඩිම පටිපණුවා



අවුරුදු දහයක් වයසැති කුඩා දැරුවකුගේ සිරුරින් පටිපණුවකු සොයා ගැනීමට වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පරපෝෂිත අංශය සමත් විය. සෙන්ටි මීටර් 70 ක් දිග මෙම පටිපණුවා, මෙරටින් හමුවුණු දිගින් වැඩිම පටිපණුවා ලෙස සැලකෙන බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය වෛද්‍ය සුරංග දොළමුල්ල මහතා පවසයි. පටිපණුවා හමුවී ඇත්තේ කුරුණෑගල ප්‍රදේශයේ අවුරුදු 10 ක් වයස දරුවකුගේ උදරයෙන් බව ද පැවැසෙයි.

දරුවාගේ මලපහ පරීක්ෂා කිරීමේදී, පටිපණුවාගේ බිත්තර හමුවුණු බවත්, එම බිත්තර අනුව ඒවා වඳුරු පටිපණුවකුට අයත් බවත් තහවුරු කෙරුණි. පටිපණුවා සම්බන්ධ පරීක්ෂණ කටයුතු සිදුවූයේ වෛද්‍ය වෛද්‍ය සුරංග දොළමුල්ල මහතාගේ අධීක්ෂණය යටතේය. පටිපණුවා සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක්, වෛද්‍ය පර්යේෂණ ආයතනයේදී පැවැත්වුණු අතර, ඊට එක්වුණු මාධ්‍යවේදීන්ට සෙන්ටි මීටර් 70 ක් දිග පටිපණුවා දැක ගැනීමට ද අවස්ථාව උදා විය.

‘වඳුරන්ගේ මෙන්ම රිළවුන්ගේ ද සිරුරුවලින් හමුවන පටිපණුවන් හැඳින්වෙන්නේ ‘වඳුරු පටිපණුවා’ යන නමිනි. වඳුරු පටිපණුවන් බහුලව දකින්න ලැබෙන්නේ ද වඳුරන් සහ රිළවුන් වාසය කරන ප්‍රදේශවලයි. අපට මේ පටිපණුවා හමුවුණේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ අවුරුදු 10 ක දරුවකුගේ මළපහ පරීක්ෂා කරද්දීයි. මළපහවල තිබුණු බිත්තර පරීක්ෂා කරද්දී හමුවුණු පටිපණුවා බර්ටියෙල්ලා පටිපණුවකු බව අපට එය තහවුරු කර ගන්න හැකි වුණා.වඳුරු පටිපණුවා යන නමින් හැඳින්වෙන්නේ බර්ටියෙල්ලා පටිපණුවායි. වාර්තා වී ඇති අන්දමට ශ්‍රී ලංකාවෙන් මෙතෙක් හමුවී ඇති පටිපණුවන් සාමාන්‍යයෙන් සෙන්ටි මීටර් 40 ක් දිගින් යුක්තයි. ඒත් මේ පටිපණුවාගේ දිග සෙන්ටි මීටර් 70 ක්. සමහර විට ලෝකයේ දිගම පටිපණුවා මේ පණුවා වෙන්න පුළුවන්. ඒ ගැන අප සොයා බැලීමක් කරනවා.’ යැයි වෛද්‍ය සුරංග දොළමුල්ල මහතා මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පැවැති එම මාධ්‍ය හමුවේ දී, වඳුරු පටිපණුවන් මිනිසුන්ගේ සිරුරුවලට ඇතුළු වෙන්නේ කෙසේදැයි යන්න පැහැදිලි කළේ පර්පෝෂිත අංශයේ විශේෂඥ වෛද්‍ය රෝහිත මතුගලගේ මහතාය.

‘වඳුරන්ගේ හෝ රිළවුන්ගේ සිරුරේ සිටින පටිපණුවන් බිත්තර දැමීම සිදු කරනවා. මේ බිත්තර වඳුරන් සහ රිළවුන්ගේ මලපහ සමඟ පසට එක් වෙනවා. පසට එක් වන මෙම බිත්තර, පසේ සිටින පියවි ඇසට නොපෙනෙන කුරුමිණියකු වැනි මයිටාවන් විසින් ගිල දමනු ලබනවා. මයිටාවාගේ සිරුර තුළ තමයි, වඳුරු පටිපණුවාගේ ඊළග අවස්ථාව වර්ධනය වන්නේ. මේ මයිටාවන් සිටින පලතුරු වර්ග හෝ පලා වර්ග හෝ වෙනත් ආහාර වර්ග හෝ මනුෂ්‍ය අප ආහාරයට ගත්විට, පටිපණුවා අපේ සිරුරට ඇතුළු වෙනවා. කුඩා දරුවන් පස් සමඟ සෙල්ලම් කරනවා, නියපොතුවල සිරවුණු අතරේ සිටින මයිටාවන් දරුවන්ගේ සිරුරුවලට ඇතුළු වී ආහාර මාර්ගයට යන්න පුළුවන්. පටිපණුවන් අපේ සිරුරේ වැඩෙන්නේ ඒ විදියටයි.’ යැයි විශේෂඥ වෛද්‍ය රෝහිත මතුගලගේ මහතා පැහැදිලි කළේය.

‘පටිපණුවකු ආහාර මාර්ග පද්ධතියේ වැඩෙනවා නම්, උදරයේ වේදනාව, මළපහ දියර ලෙස පිටවීම, සිරුර අප්‍රාණික වීම ආදී ලක්ෂණ මතුවෙනවා. මේක භයානක තත්වයක් නෙවෙයි. ඒත් සිරුරේ පටිපණුවකු සිටීම ඉතාම කරදරකාරී තත්වයක්’ යැයි විශේෂඥ වෛද්‍ය රෝහිත මතුගලගේ මහතා පැහැදිලි කරයි.

‘හොඳ සෞඛ්‍ය පුරුදු අනුගමය කිරීම වැදගත්. ආහාර ගැනීමට පෙර අත් සේදීම ඉතා වැදගත්. පලතුරු වර්ග, පලා වර්ග ආදිය ආහාරයට ගැනීමේදී හොඳින් සෝදා ගැනීම කළ යුතුයි. විශේෂයෙන් බිම වැටී ඇති පලතුරු සෝදා ආහාරයට ගැනීම කළ යුතුයි. නියපොතු කුඩාවට කපා ඇති නම්, ඒවා අතරේ පස් රැඳීමක් සිදු වෙන්නේ නැහැ.’ යැයි  විශේෂඥ වෛද්‍ය රෝහිත මතුගලගේ මහතා ​පැවැසුවේ පටපණුවන්ගෙන් ආරක්ෂා වීම සම්බන්ධයෙන් දැනුවත් කරමිණි.

‘පටිපණුවා පරපෝෂිතයෙක්. පර්පෝෂිතයෙක් කියන්නේ අපේ සිරුරේ ඇතුළත සිට හෝ පිටතින් හෝ සම්බන්ධ වී වර්ධනය වෙමින්, අපට හානි කරන සත්වයකුට. පටිපණුවා සිරුර තුළ වැඩෙන පරපෝෂිතයෙක්. පටියක හැඩයක් ගන්නා, එසේත් නැතිනම් පටියක ආකාරයේ කොටස්වලින් නිර්මාණය වී ඇති නිසා මේ පණුවා, ‘පටිපණුවා’ යන නමින් හැඳින්වෙනවා. පටිපණුවන් උගේ හිස වැනි කොටසින් අපේ බඩවැල්වල එල්ලී සිටිනවා. පටිපණුවාගේ පහළ කොටස් කැබැලි ලෙස මළපහ සමඟ පිටවෙනවා. එසේ සුදු පැහැති කැබලි පිටවෙනවා නම්, පටිපණුවකු අපේ සිරුරේ සිටින බව ස්ථිරව කියන්න පුළුවන්. මෙම කැබලිවලින් ද තවත් පටිපණුවකු බිහිවීමේ අවස්ථාව ද තියෙනවා. මෙරටින් පළමු වරට පටිපණුවකු හමුවුණේ 1975 වසරේදීයි. ඒ වගේමයි කියන්න ඕනෑ පරයෝෂිතයන් සම්බන්ධයෙන් පර්යේෂණ පවත්වන මෙරට ප්‍රධාන රසායනාගාරය ඇත්තේ රාජ්‍ය වෛද්‍ය ​පර්යේෂණ ආයතනය සතුවයි. ඒ වගේමයි අප ගවයන්, ඌරන්, මීයන් වැනි සතුන්ගෙන් හමුවණ පටිපණුවන් ගැන ද නිරන්තරයෙන් පර්යේෂණ පවත්වනවා.’ යැයි වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පරපෝෂිතවේදී අංශයේ ප්‍රධාන වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ තුෂාරා තන්තිරිගේ මහත්මිය පවසයි.  මෙම සෙන්ටි මීටර් 70 ක් දිග මෙම පටිණුවා පරීක්ෂා කරමින්, ඌ හඳුනා ගැනීම කළේ තුෂාරා තන්තිරිගේ මහත්මියයි.


RECOMMEND POSTS